Wednesday 10 April 2013

Posted by Unknown On 07:35

සෙංකඩගල නුවර ඉංග්‍රීසීන්ට අයත් වීමෙන් ලක්‌ මාතාවගේ සෞභාග්‍යයත්, සමෘද්ධියත් පිරිහීමේ ප්‍රපාතයට ඇද වැටී තිබියදී, පරගැති බවේ දැඩි රිවි තාපයෙන් මිදී, නිදහස්‌ සිසිල් පවනින් ආශ්වාදයක්‌ ලබාගැනීමටත්, උඩරට රදළවරුන්ගේ බල තල නැවත ලබා ගැනීමටත්, ක්‍රි. ව. 1818 දී ඉංග්‍රීසීන්ගේ දිසාපති කෙනෙක්‌ව සිටි වීර සිංහල සෙනෙවි කැප්පෙට්‌ටිපොළ විසින් ඉංග්‍රීසීන්ට විරුද්ධව ඇරඹූ ඌව කැරැල්ල ව්‍යාර්තවීමෙන් පසු නැවත වරක්‌ ඉංග්‍රීසීන් මෙරටින් සහමුලින් තුරන් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙළකින් යුත් කැරැල්ලක්‌ ක්‍රි. ව. 1848 දී භික්‍ෂූන් වහන්සේලාගේද, රදළවරුන්ගේද සහයෝගය ඇතිව සාමාන්‍ය ජනයා විසින් මෙහෙයවන ලදී. මේ කැරැල්ලේ නායකත්වය දැරුවේ පහත රට රණකාමී ගෝත්‍රයකට අයත් ධෛර්ය සම්පන්න වූ, නිර්භීත වූ පුරන් අප්පු නමැත්තෙකි. වර්ෂ 1848 ටේ ජුලි මස 28 වැනි දින මහනුවර වාසීන් විසින් ඔවුන්ගේ රජු වශයෙන් පිළිගන්නා ලද්දේද මේ පුරන් අප්පුය.

ජාතිය උදෙසා දිවිපිදූ පුරන් අප්පු හෙවත් ප්‍රැන්සිස්‌කු ක. ප්‍රනාන්දු ශ්‍රී මහා බෝධි ශාඛාව සමග පැමිණිය වුන්ගේ පරපුරකින් පැවත ආ උඩරට වෙළෙ¹මේ නියුක්‌තව සිටි වතු හිමියකු වූ වීරබල ජයසූරිය කුරුඋතුම්පාල අත්ථදේව ගුණරත්න පටබැඳිගේ කලිස්‌තෝරු ප්‍රනාන්දු සහ ශ්‍රී ලක්‌ විජය සිංකිත් වර්ණ මාණ්‌ණ දිසානායක සපරමාදු නානායක්‌කාර ලක්‍ෂපති මහා විදානලාගේ හෙලේනා නෝනිස්‌ යන දම්පතින්ගේ එකම දරුවා විය. ඔහු හොඳින් ඇතිදැඩි කිරීමට මව්පිය දෙදෙනා හැම උත්සහයක්‌ම දැරූහ. කුඩා කල සිටම ඒ දරුවාගේ උදාර නිර්භීත ගති පැවැතුම් පෙනෙන්නට විය.

සමුදාසන්න ප්‍රදේශයක්‌ වන මොරටු පෙදෙසට අයත් උයන නම් ග්‍රාමයෙහි ක්‍රි. ව. 1812 නොවැම්බර් මස 7 වැනි දින හේ මෙලොව එළිය දුටුවේය.

පුරන් අප්පු සුදුසු වයස එළඹි කල ඉගෙනීමේ යෙදිණි. පුරන් අප්පුගේ පියා ඔහු මොරටුවේ ඉඩමේ පිහිටි වැස්‌ලියන් පාඨශාලාවේ මුල් ගුරුතුමාට සිංහල චාරිත්‍රානුකූලව භාර දිණි. එතුමන් විසින් ළමයාට තල්කොළ සිංහල හෝඩියේ අකුරු කියවා ඔහු උප ගුරුතුමා වෙත යවන ලදී. පංතියට ඇතුළත් වූ නොබෝ දිනකින් පන්ති ගුරුවරයාගේ සිත් දිනා ගත් පුරන් අප්පු ක්‍රමයෙන් ඉහළ පන්ති කරා පිවිසියේ ය.

දස හැවිරිදි පුරන් අප්පු පාසලෙන් අස්‌වී තම මවගේ ග්‍රාමය වන ලක්‍ෂපතියේ නැවතී සිටියේය. ඒ අතරතුරදී ඔහුගේ උපක්‍රම ශක්‌තියෙන් හේ සුද්දන් සමග ආශ්‍රයට වැටිණ. ක්‍රි. ව. 1824 දී ලංකා ආණ්‌ඩුකාරයාවී සිටි ලෙප්ටිනන්ට්‌ ජෙනරාල් එඩ්වර්ඩ් බාන්ස්‌තුමා සමග, ගල්කිස්‌ස කැකුණලන්ද (අද මෝල්පෙ) සහ බොල්ගොඩ ප්‍රදේශවල දඩයමෙහි යන්නට පුරුදුවී සිටියේය. එයින් සුද්දන්ගේ යුතු අයුතුකම්, ගතිපැවතුම් මැනවින් දැනගන්නට අවස්‌ථාවක්‌ ඇති විය. ක්‍රි. ව. 1825 දී ලක්‍ෂපතියේ සිටි පොලිස්‌ විදානේ විසින් තමාට සෑහෙන කරුණු නැතිව නිකරුණේ පහරදීමෙන් කෝපයට පත් දහතුන් හැවිරිදි පුරන් අප්පු ඔහුට ප්‍රතිප්‍රහාර දී බදුල්ලට පැනගොස්‌ සිය මාමා කෙනෙකුගේ නිවසෙහි නැවතී සිටියේය.

විශේෂයෙන්ම සුදු මිනිසුන්ගේ අණසක පැවති සමයේදී ඔවුන්ගේ බල පුළුවන්කාරකම් නිසා සාමාන්‍ය ජනතාවට මුහුණපාන්නට වූ හිරිහැර අපමණය. මේ දුක්‌ කරදර සියෑසින් දුටු පුරන් අප්පු කෙසේ හෝ සිංහළ ජාතියේ උද්දීප්තිය සඳහා මුළු ජීවිතයම පූජා කර තමාගේ ජාතිය බේරා ගැනීම සඳහා බලවත් සටනක්‌ ගෙන යන්නට ඉටා ගත්තේය. සිංහල ජාතියේ අපරාජිත ස්‌වෛරී බලයත්, මාතෘ භූමියේ ලේ උරුමයත්, ජනතාවගේ අභිමානයත්, තම යකඩ සපත්තුවට පාගා හිරකර ගෙන සිටි ඉංග්‍රීසීන්ගෙන් කෙසේ හෝ ආපසු ලබා ගත යුතු යෑයි ඔහු තීරණය කළේය.

එකළ පුරන් අප්පුට සුද්දන්ගෙන් මංකොල්ල කෑමෙන් හා වෙනත් ක්‍රම වලින් විශාල ධනයක්‌ ඇදී එන්නට පටන් ගත්තේය. ඔහු ලැබූ ධනයෙන් තමාගේ මව්පියන්ට ශතයකවත් ප්‍රයෝජනයක්‌ නොවීය. ඒ විශාල ධන සම්භාරය දුප්පතුන්ට බෙදා දුන්නේය. මෙකල රටේ ඇතිවූ හැම සත් ව්‍යාපාරයකම පුරන් අප්පු පෙරමුණ ගෙන ක්‍රියා කළේය. මොරටු ප්‍රදේශයට වඩා ඔහු සිත් ඇදී ගියේ උඩරට, ඌව යන පළාත් වලටය. එහි වැසියන් සමග සතුටු සාමීචි කතා කිරීමද මිල මුදලින් උපකාර කිරීමද ආණ්‌ඩුව සමග මහජනයා කරන රාජකාරී වලදී ඔවුන්ට උදව් දීමද ඔහුට ප්‍රීතියක්‌ විය. පුරන් අප්පු ගම් වැසියන්ට පියකු හා සමාන විය. ඔවුනගේ නැතිබැරි කම් මගහැර වීමට පුරන් අප්පු කප්රුකක්‌ විය.

සුද්දන්ට එරෙහිව සටන ගෙනයැමට තමාට පමණක්‌ නොහැකි හෙයින් දුගී මහ ජනයාගෙන් හිතවත් පිරිසක්‌ ඔහු රැස්‌ කර ගත්තේය. 

ප්‍රථමයෙන් ඔහු විසින් දුප්පතුන්ගේ සුබසිද්ධිය සඳහා ගෙන යන ලද ව්‍යාපාරය සඵල නොවූයේ සුදු ජනයාගේ නොහික්‌මුණු, නොදැමුණු ගති නිසාය. තමන්ගේ සටන අතරමගදී කඩාකප්පල් වනු දුටු ඔහුගේ හද ශෝකයෙන් දැවෙන්නටත් අනුකම්පාවෙන් සැලෙන්නටත් විය. අන්තිමේදී දුප්පතකුගේ උවමනාවක්‌ ඉටුකර ගැනීම පිණිස එකල බදුල්ලේ පොලිස්‌ මහෙස්‌ත්‍රාත් වරයා වූ ඩෝසන් මහතා වෙත ඉදිරිපත් කළ කරුණු ගැන යුක්‌තිය ඉටු නොවූයෙන් පුරන් අප්පු ඔහු කෙරෙහි තදින්ම උරණ විය. ඒ අතර පුරන් අප්පු බොරු චෝදනාවකට අසුකොට මේජර් රොඡ්ර්ස්‌ විසින් උසාවියට ගෙනයන ලදී. හෙතෙම එහිදී මේජර් රොජර්ස්‌ට ශාප කළේය.

පුරන් අප්පු තුළ පලිගැනීමේ ෙච්තනාව කෙමෙන් ලියලන්නට වූ හෙයින් ඩෝසන් පොලිස්‌ නඩුකාර මහතාගේ මැදුර බිඳීමට අන්තිමේදී හේ තීරණය කළේය. ඒ මැදුර කොල්ලකෑම නිසා ඉංග්‍රීසින්ගේ නීති දණ්‌ඩනය යටතේ පුරන් අප්පු ඳඟ ගෙට යවනු ලැබීය. ඳඟ ගෙයිදී අනෙක්‌ හිරකරුවන් සමග එකතු වූ හෙතෙම ඳඟ ගෙය කඩා එයින් පැන ගියේය. මේ සිද්ධියෙන් පසු කෙසේ හෝ තම මාතෘ භූමිය ඉංග්‍රීසීන්ගෙන් කෙසේ හෝ මුදා ගන්නා බව ස්‌ථීරව අධිෂ්ඨාන කරගත් ඔහු ඔවුන්ට විරුද්ධව නොයෙක ව්‍යාපාර ඇතිකිරීමට ප්‍රයත්න දැරීය. කලකට පසු පුරන් අප්පු යළිත් ඳඟගෙට යවනු ලැබීය. එහිදී දෙවැනි වරටත් හේ ඳඟගෙය කඩා පැන ගියේය. පුරන් අප්පු එතැන් සිට "හිරගේ කඩන්නා" "හිරෙන් පැන යන්නා" මං පහරන්නා, කොල්ල කන්නා යන උප නාමයන්ගෙන් ප්‍රසිද්ධ වූයෙන් වැඩි කල් නොගොස්‌ දාමරිකයෙක්‌ විය.

පුරන් අප්පු නොයෙක්‌ සටන් ව්‍යාපාර ඇති කිරීමට යන බව දැනගත් ඉංග්‍රීසීහු කෙසේ හෝ ඒවා නැති කිරීමට සූක්‍ෂම වැඩපිළිවෙළක්‌ යෙදූහ. නිලතල දීමෙන් හෝ නම්බුනාම දීමෙන් හෝ පුරන් අප්පුගේ සටන ඇන හිටින්නේ නැති බව ඉංග්‍රීසීහු හොඳින්ම දැන සිටියහ. ඔවුන්ගේ සටන මොට්‌ට කිරීමට ඇති එකම මාර්ගය ඔහු අල්ලා ඳඟ ගෙයි දැමීම බව ඔවුන්ට කල්පනා විය. ඒ තීරණයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් කිසිම වරදක්‌ නොමැතිව මේජර් රොජර්ස්‌ තුමා විසින් පුරන් අප්පුව බදුල්ලේ උසාවියට පමුණුවන ලදී. එහිදී මෙසේ නිකරුණේ චෝදනා කිරීම නිසා උසාවියේදී ඩෝසන් පොලිස්‌ නඩුකාරතුමා අමතා හේ මෙසේ කීවේය.

"මොහු මට නිකරුණේ කළ වරදට ශාප වේවාෘ" පිටරැටියන් විසින් ස්‌වකීය සහෝදර රට වැසියාට කරන අසාධාරණ, නීච ක්‍රියා ගැන විරෝධත්වය දැක්‌වීමට යන අවස්‌ථාවකදී කිසිම වරදක්‌ නොමැතිව උසාවිය ඉදිරියට ගෙනයැම ඉතා නින්දිත ක්‍රියාවක්‌ හැටියට සැලකූ පුරන් අප්පු මේ සිද්ධියෙන් පසු උග්‍රලෙස දේශවාත් සල්‍යයෙන් සටන් ව්‍යාපාරවල යෙදීමට තරයේම ඉටා ගත්තේය. 

මේ අතර ඉතා වැදගත් සිදුවීමක්‌ විය. ක්‍රි. ව. 1845 ජුනි මස 7 වැනි දින මේජර් රොජර්ස්‌තුමාට නුවර එළිය අසලදී හෙණයක්‌ වැදිණි. රොජර්ස්‌ තුමාට මේ විපත සිදුවූයේ පුරන් අප්පු විසින් කරන ලද ශාපය නිසායෑයි මහජනයා අතර කසු කුසු පැතිර ගියේය. මේ අවස්‌ථාවේදී පුරන් අප්පු උතුම් පුද්ගලයෙක්‌ වශයෙන් මහජනයා විසින් පිළිගනු ලැබීය. ඔහුගේ ස්‌වරූපය ඉතා ආකර්ෂණීය විය. උතුම් පුද්ගලයකු තුළ පැවතිය යුතු විශිෂ්ඨ ගුණාංගයන්ගෙන්ද හේ පොහොසත් විය. රජකුට උරුම උසස්‌ ගුණ ධර්ම ඔහු තුළ නිසගයෙන්ම විද්‍යමාන විය. ධීරවීර ගති ඇතිව ඔහු පෙරමුණටම ගියේ අනෙකක්‌ නිසා නොව නිසැකයෙන්ම ඔහු තූළ පැවති ආත්ම ශක්‌තිය නිසාය. ඔහුට සංඝරත්නයේ ආධාර අනුබලද නොඅඩුව ලැබෙන්නට විය.

මේ අතර 35 හැවිරිදි පුරන් අප්පු 1847 ජනවාරියේදී හාරිස්‌පත්තුවේ ගුණ්‌නෑපාන ආරච්චිගේ දියණියක්‌ වන බණ්‌ඩාර මැණිකේ නම් කාන්තාව හා විවාහ විය. වර්ෂ 1847 ඔක්‌තෝම්බර් 1 වෙනිදා ලෙනදොරදී බණ්‌ඩාර මැණිකෙටද පුත් රුවනක්‌ ලැබුණෙන් ඕ "සිරිබ මැණිකා" යි නම් ලැබුවාය. 

ක්‍රි. ව. 1848 දී ලංකාවේ පමණක්‌ නොව ලෝකයේ බොහෝ තැන්වල විප්ලව ඇරඹිණි. මේ අවස්‌ථාවේම මාතලේද කැරැල්ලක්‌ ඇති විය. එහි පරමාර්ථය වූයේ ඉංග්‍රීසීන් මෙරටින් පළවා හැරීමත්, සිංහල ජනයාගේ ඓතිහාසික නිදහස්‌ උරුමය රැක ගැනීම සහ සිංහල නරපතියකු පත්කර ගැනීමත්ය.

ආණ්‌ඩුව මුලදී දුප්පත් ගොවියාගේ බඩ රැකෙන ගොවි කර්මාන්තයත්, වාරි මාර්ගත් දියුණු කිරීම සඳහා බොහෝ වෙහෙස දැරීය. එහෙත් පසු කාලයක දී ආණ්‌ඩුවේ මුදල් වැඩි වශයෙන් වැවිලි කර්මාන්ත දියුණු කිරීම් සඳහා යෙදවිණි. සිවිල් නිලධාරීන්ගෙන් වැඩි දෙනෙක්‌ ඔවුන්ගේ කාලයෙන් වැඩි කොටසක්‌ ගත කළේ වැවිලි කර්මාන්තය සඳහාය. මේ හේතුකොට ගෙන දුප්පත් ජනයාගේ වුවමනාවන් ගැන වග විභාග කරලීමට ඔවුන්ට අවස්‌ථාවක්‌ නොලැබිණි. ඔවුන්ට වුවමනාවක්‌ ද නොවීය.

ඉංග්‍රීසීන් විසින් මේ රටේ වැඩවසම් ක්‍රමය අවලංගු කොට ඔවුන්ගේ නව පාලන ක්‍රම මේ රටේ යෙදවූ අතර විශේෂයෙන් ම උඩරට සිංහල ජනයා කිපුණහ. පාතරැටියකු වූ පුරන් අප්පුගේ මන දොල පුරවා ගැනීමට මෙය කදිම අවස්‌ථාවක්‌ විය. අධිරාජ්‍යට යටත් වීමෙන්a පසු කොයි රටවලත් රදළ ආණ්‌ඩු ක්‍රමය වෙනස්‌ වීමත් සමගම අලුත් ධනවාදී ආර්ථික මාර්ගය ගොඩ නැගෙන්නේය. පුරන් අප්පුගේ කැරැල්ල පටන් ගැනීමට වර්ෂ කීපයකට පෙර එනම් වර්ෂ 1843 දී පමණ ලංකාවේ වැඩවසම් ක්‍රමය ඒ සමගම මේ අවධියේ දී ඇතිවුණු යුරෝපයේ කලබල වලින් ලංකාවේ කෝපි වෙළ¹මට පහරක්‌ වැදුණේය. වැඩවසම් ක්‍රමය අවලංගු කිරීමෙන් ආණ්‌ඩුවේ ආදායම පහත වැටීමත් නිසා අලුත් අයබදු ක්‍රමයක පිහිට සොයන්නට ද විය.

සර් කොලින් කැමල් තුමාගෙන් පසු ක්‍රි.ව 1847 දී ටොරින්ටන් සාමිවරයා ලංකාවේ ආණ්‌ඩුකාර ධුරයට පත් වූයේය. මේ නවක ආණ්‌ඩුකාරතුමාට දේශපාලන කටයුතු පිළිබඳ පළපුරුද්දක්‌ නොතිබුණේය. ක්‍රි.ව. 1835 හේ සිට 1845 දක්‌වා අතර කාලයෙහි ඇතිවූ ප්‍රතිසංස්‌කරණයන් ගැනත් උඩරැටියෝ කලකිරී සිටියහ. ස්‌වකීය බලය අඩුවූ නිසා රදළවරු වඩාත්ම කිපී ආණ්‌ඩුවට විරුද්ධව නැගී සිටියහ. රටවලින් පැමිණි ඉන්දීය කුලී කරුවන්ගේ වැඩිවීම් ගැනද,බොහෝ දෙනෙක්‌ විරුද්ධ වූහ. බුද්ධාගම හා බුද්ධාගමේ කටයුතු ගැන උඩරට ගිවිසුමට ඇතුළත් කළ වගන්ති කල් යැමේදී ඉවත් කළ නිසා වැසියෝ තව තවත් නොසන්සුන් වූහ.

වර්ෂ 1848 දී ටොරිංටන් සාමි විසින් තුවක්‌කු බදු, බලු බදු, පාර බදු, ඔරු බදු, කඩ බදු, කරත්ත බදු පනාදී ඉන් පෙර ලාංකිකයන් අසා නුපුරුදු බදු බනවන ලදී. තවත් නොයෙක්‌ විකාර බදු ගැන කටකතා පැතිරෙන්නට වීම නිසා වැසියා තුළ සංවේගයත්, කෝපයත් ලියලන්නට විය. පාර බද්ද ගැන වැසියෝ වඩාත්ම කිපුණහ. ආණ්‌ඩුවේ උසස්‌ නිලධාරීන් හැර අවුරුදු 18 ත් 60 ටත් අතරෙහි වූ පිරිමින්ට දවස්‌ 06 ක්‌ පාරේ වැඩ කිරීමට නියම විය. එහෙත් අවුරුද්දකට සිලිම් 3 ක්‌ බදු වශයෙන් ගෙවා ඔවුන්ට එයින් නිදහස්‌ විය හැකි විය. උඩරැටියන්ට පුදුමයක්‌ වූ පාර බද්ද ක්‍රි. ව 1832 දී නැතිකර දමන ලද රාජකාරියේ නෂ්ටාව ශේෂයක්‌ යෑයි උඩරැටියෝ සිතූහ. මේ නොයෙක්‌ විකාර බදු ගැන එවකට ලංකාවේ පදිංචිව සිටි යුරෝපියෝ ද විරුද්ධ වූහ. යුරෝපියෝ ඔවුන්ගේ විරුද්ධත්වය පළමුව ආණ්‌ඩුකාරතුමාට දන්වා සිටියහ. එයින් සහනයක්‌ නොලැබුණු නිසා ඔවුහු එංගලන්තයේ උසස්‌ නිලධාරීන්ට ද ඒ ගැන පැමිණිලි කළහ. ක්‍රි. ව. 1848 මුල් කාලයේදී අලුත් බදු පැනවීම ගැන අප්‍රසාදය දැක්‌වීම පිණිස ලංකාවේ නොයෙක්‌ පලාත් වල රැස්‌වීම් කීපයක්‌ම පවත්වන ලද නමුත් කිසිදු ඵලයක්‌ නොවීය. මේ රැස්‌වීම් බොහෝමයක්‌ සංවිධානය කොට විරුද්ධත්වය පෑවෝ පුරන් අප්පුත් ගොංගාලේගොඩ බණ්‌ඩාත් ය.

මෙයින් කලබලයවූ ටොරිංටන් සාමි මදුරාසියෙන් යුද්ධ භටයන් ගෙන්වා කුරුණෑගල, දඹුලු යන ප්‍රදේශවල යුද්ධ නීතිය පනවා රට දෙවනත් කළේය. පුරන් අප්පුව රදළයන්ගේ අනු බලය ලැබේදොaයි බිය පත් වූ නිලධාරීහු පුරන් අප්පු රජවීමට උත්සහ කරන බව පතුරුවා හැරියේය. එහෙත් ඒ වන විට රදළ බලය පිරිහී තිබිණි.

මේ අතර අය බදු වැඩි කිරීමට විරුද්ධව අප්‍රසාදය පළ කිරීමටත් මෙයට ගන්නා පියවර කුමක්‌ද යන්න තීරණය කර ගැනීමටත් විශාල රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වන ලදී. මේ සාකච්ඡා සභාවේ කර ගත් තීරණය කච්ෙච්රියට ගොස්‌ තේරුම් කර දීම සඳහාත්, එවකට ප්‍රසිද්ධව සිටි පුරන් අප්පු තෝරා පත්කරගන්නා ලදී. වර්ෂ 1848 ජූලි 6 වැනි දින පුරන්අප්පු තවත් බලවත් පිරිසක්‌ හා සමග මේ දුක්‌ ගැනවිලි මහනුවර කච්ෙච්රියේ එවකට ඒජන්ත තුමාව සිටි සී. ආර්. බුලර් මහතාට පැවසීමට ගියේය. එහෙත් ඒ ගමනින් කිසිම ප්‍රතිඵලයක්‌ නොලැබිණි.

පළමු සාකච්ඡාවෙන් ප්‍රතිඵලයක්‌ නෙලැබුණු හෙයින් ජූලි මස 8 වැනි දින මහනුවර මගුල් මඩුවේදී සාකච්ඡා සභාවක්‌ පවත්වන ලදී. මේ සාකච්ඡා සභාවේදී රටවැසියා වෙනුවෙන් පුරන් අප්පුගේ භාර්යාවගේ ඥති සහෝදරයක වන ගුන්නෑපාන ආරච්චි කරුණු සැලකර සිටියේය. මේ කරන ලද සාකච්ඡාවෙන් ද කිසිම ප්‍රතිඵලයක්‌ නොලද හෙයින් ජනයාගේ හැඟීම් ක්‍රමයෙන් උත්සන්න විය. දෙවරක්‌ ම මෙසේ කරුණු සැලකර සිටියදී අධිරාජ්‍යවාදී උසස්‌ නිලධාරීහු ඒ ගැන කිසිම තැකීමක්‌ නොකළහ. මහා ජනකායගේ එකම බලාපොරොත්තුවක්‌ වත් ඉටු නොකළ මෙම බ්‍රිතාන්‍ය පාලකයන්ට මහජනයා තදින්ම විරුද්ධ වූහ. එපමණක්‌ නොව ජනයාගේ කුපිතවීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් රටේ තද නොසන්සුන් භාවයක්‌ ඇති වූයෙන් විදේශික පාලන යන්ත්‍රය සහමුලින් මුලිනුපුටා දැමීම සඳහා කැරැල්ලක්‌ ඇති කිරීමට විධි විධාන යොදන ලදී. අනාගතයේදී ජීවිත පවා පරිත්‍යාග කිරීම සඳහා දැඩි ධෛර්යයෙන් යුක්‌තව ජාත්‍යාලයෙන් උදම්වී ජාතික අනුරාගයෙන් ඔද වැඩි මේ කැරැල්ල සර්ව සම්පූර්ණයෙන් සාර්ථක කර ඉන් නියම ඵල නෙලා ගැනීමට සිංහලයෝ ඉටා ගත්හ.

මේ කැරැල්ල තමාට පමණක්‌ තනිව කළ හැකි හෙයින් මුළු ජනතාවගේ ආධාර - උපකාර අවශ්‍ය බවත් ඔහුට ප්‍රත්‍යකAෂ විය. මේ නිසා පුරන් අප්පු සංචාර ගමනක යෙදුනේ විශේෂයෙන්ම ගම්මානවල සිටි මුලාදෑනින්ගේ සහ නායකයන්ගේ උදව් මේ කැරැල්ල සඳහා ඉල්ලා සිටියේය. ඔහුට ඒ සඳහා භික්‌ෂූන් වහන්සේලාගේ සහ උඩරට ජනතාවගේද සහයෝගය ද නොමසුරුව ලැබිණි.

පුරන් අප්පු සංඝයා වහන්සේගේ සහය පතා හැම ආරාමයක්‌ කරාම ගියේය. විශේෂයෙන් කුරුණෑගල, දඹුල්ල,අනුරාධපුරය, මාතලේ වැනි එවකට ප්‍රසිද්ධව තිබූ ඉපැරණි යටගියාවක්‌ ඇති මේ නගර හරහා ඔහුගේa දෙපා වෙහෙසුණේය.

බෞද්ධ ශාසනයේ නියම සංවර්ධනයක්‌ මේ කාලය තුළ නොතිබුණු හෙයින් සිංහල ජාතියට, උරුමයට කැක්‌කුමක්‌, ලැදියාවක්‌ ඇති මහා සංඝයා වහන්සේ තම සහාය පුරන් අප්පුවට දෙන බව ගිවිසුම් දුන්හ. සංඝයා වහන්සේගේ ඇට මස්‌ රුහිරු ඔස්‌සේ ශාසනය හා සිංහල භාෂාව ආරක්‌ෂා කිරීමේ පරම අධිෂ්ඨාන ඇතිව කුමන දේශපාලන විප්ලවයකට හෝ ආධාර උපකාර දීමටත් මහජනයාගේ ජාතික හැඟීම් වලට පුනර්ජීවනයක්‌ දීමටත් ක්‍රියා කළහ.

ගම්මුලාදෑනින්ගේත් රදළවරුන්ගෙත් මහා සංඝයා වහන්සේගෙත්a, අවශේෂ ජනයාගේත් නොමසුරු උපකාරය ලැබූණු හෙයින් මේ කැරැල්ල දියුණු තියුණු අඩියකට ගෙන ඒමට පුරන් අප්පුට හැකි විය. ඔහුගේ ජාතික කැක්‌කුම පුළුල් වීමට හේතුව වූයේද මහජනයාගේ උද්‍යාaගය සහ උනන්දුව ඔහු කරා ගලා ඒම නිසාය.

මේ සංචාරය අතරතුර පුරන් අප්පු කුරුණෑගලට ගොස්‌ ඩිංගිරාළ නමැති තැනැත්තාගෙන් යුද්ධ සේනාවක්‌ සකස්‌ කරන ලෙස ඉල්ලා ස්‌ථිර කරගත් නියමිත දිනයේදී මාතලේට පැමිණෙන ලෙස දැන්වීය. නැවත දඹුල්ලට ගොස්‌ භික්‌ෂූන් වහන්සේලාගෙන් තමා කරන්නට යන කටයුතු පිළිබඳ වැඩිදුරටත් කැමැත්ත විමසුවේය. ජූලි 17 වැනි දින ඔහු ලෙන දොරට පැමිණ ඔහුගේ බිරිඳ සහ දරුවා බිරිඳගේ නැන්දනියගේ නිවසෙහිදී දැක ගත්තේය. ජූලි 18, 19 වැනි දිනවල මුළු මහත් ලංකාවේ අප්‍රසාදය ඉංග්‍රීසීන්ට පළ කිරීමට කැරැල්ලක්‌ මෙහෙයවීමට සෑම සංවිධානයක්‌ම යොදා තිබිණි.

කැරැල්ල මෙහෙයවීම සඳහා එහි සම්පූර්ණ වගකීම භාර ගැනීමට ප්‍රධානියකු සිටිය යුතු නිසාත් සිංහලයන්ට රජෙකු අවශ්‍ය වී තිබූ නිසාත් පැමිණ සිටි ජනයා ප්‍රමුඛ කොට රජකු පත්කර ගැනීමට අදහස්‌ කළහ. නැසීගිය රජුගේ ඥතිවරයන් දෙදෙනකි. මේ කාලයේ සිටි බැවින් ඔවුන්ගෙන් කෙනෙකුට රජකම පවරා මේ කැරැල්ල ඉංගී්‍රසින්ට විරුද්ධව මෙහෙය වන ලෙස භික්‌ෂූන් වහන්සේ හා රදළවරුන් විසින් ඉල්ලීමක්‌ කරන ලදී. එහෙත් ඒ ඉල්ලීම නැසී ගිය රජුගේ ඥතිවරයෝ ප්‍රතික්‌ෂේප කළහ. රජකම බාරගෙන මේ කැරැල්ල මෙහෙය වීමට කිසිදු උඩරැටියෙක්‌ ඉදිරිපත් නොවූයේය. නැපෝලියන් බොනපාට්‌ ප්‍රංශ ජාතිකයකු නොවූවද ප්‍රංශයේ අසහාය ස්‌වාමිත්වය ලබා ගත්තා සේ පුරන්අප්පු පහත රැටියකු වුවත් මේ වගකීම හෙවත් රජකම් ඔහු වෙත දුව ආවේය. 

උඩරැටියන් පුරන්අප්පුට "හිරගේ කඩන්නා" "හිරෙන් පැන යන්නා" "මංපහරන්නා" "කොල්ලකන්නා" යනුවෙන් ව්‍යවහාර කළත් ඔහු ඔවුන්ගේ රජු වශයෙන් පත්කර ගැනීමට එය බාධාවක්‌ නොවීය. එසේ සැලකුවේ චෝරනාග රජුත්, චන්ද්‍රගුප්ත රජුත් පළමුව හොරුන් වශයෙන් ක්‍රියා කළ බව ඔවුන් දැන සිටිය නිසා වන්නට ඇත. 

පුරාණයේ පහත රැටියෝ උඩරට රජවරුන් යටතේද, උසස්‌ පදවි ඉසිලූහ. ක්‍රි ව. 1590 දී පළමුවැනි විමලධර්මසූරිය රජතුමාගේ අගමැතිවරයාද ක්‍රි. ව. 1618 දී ඌව ප්‍රදේශයේ රජු වශයෙන් ක්‍රියාකළ කුරුවිට රාළද දෙවැනි රාජසිංහ රජුගේ මහා දිසාවද පහත රැටියෝය. පුරන්අප්පු පහත රැටියකු වුවද, ගතිගුණ සහ ක්‍රියා අතින් උඩරැටියන් පැරද වූයේය. සල්ලප්පු ආරච්චි, කොනප්පු බණ්‌ඩාර, තෝමෙ අප්පු, කුරුවිට බණ්‌ඩාර යන උඩරට නාමයන්ට සමාන ස්‌වරූපයක්‌ ගන්නා නිසාත් පුරන්අප්පු යන නාමය උඩුරැටියෝ ව්‍යවහාර කළහ. සෑම සටනකදීම උඩරැටියන් සමග උරෙන් උර ගැටී ඉංගී්‍රසීන්ට විරුද්ධව සටන් කළ නිසාත් ඔහුට රජකම අත්වීම පුදුමයක්‌ නොවේ. 

එකල සිංහල සිරිත වූයේ නියම රජු විසින් පත් කර ගන්නා ලද රූකඩ රජවරුන්ගේ නම් පළමුව ප්‍රසිද්ධ කිරීමය. නියම රජ කෙනෙකු රහසින් තෝරා ගන්නා ලද නමුත් ඒ නම් ප්‍රසිද්ධ කරන්නේ කැරැල්ලේ නියම ප්‍රතිඵල ප්‍රකාශ වීමෙන් පසුවය. මේ රහසින් තෝරා ගන්නා ලද නියම රජු, තමාට සුදුසු යෑයි හැඟෙන රූකඩ රජවරුන් පත් කර ගනී. කැරැල්ලෙහි සම්පූර්ණ වැඩපිළිවෙළ සකස්‌ කරන්නේ රහසින් තෝරා ගන්නා ලද රජතුමා විසිනි. මේ සිරිත ලංකාවේ පමණක්‌ නොව ස්‌කොට්‌ලන්තයේ ද භාවිත වූ බැව් පත පොතින් පෙනේ. 

ලංකාවේ එකල පැවැති මේ සිරිත අනුව රූකඩ රජවරු තිදෙනෙක්‌ පුරන්අප්පු විසින් පත්කර ගන්නා ලදහ. මේ රූකඩ රජුන් තිදෙනාගේ නායකයා වශයෙන් ඩේවිඩ් නොහොත් ගොන්ගාලේ ගොඩ බණ්‌ඩා පත්කර ගන්නා ලදී. අනෙක්‌ රූකඩ රජවරුන් වශයෙන් ඩිංගිරාළ ද දිනෙස්‌ නමැත්තෙක්‌ද වූහ. 

මේ කැරැල්ල මෙහෙයවීමට ප්‍රථමයෙන් එය කෙසේ කළ යුතුද යන්න විසඳිය යුතු විය. විශේෂයෙන්ම පහරදීමේ වැඩපිළිවෙළ සකස්‌ වූ ආකාරය ඉතා වැදගත්ය. නැපෝලියන් බොනපාට්‌ විසින් රටවල් යටත් කර ගැනීමට කුමන වැඩ පිළිවෙළක්‌ සකස්‌ කර ගනු ලැබූවේද, එයට සමාන වැඩපිළිවෙළක්‌ මාතලේ කැරැල්ලේදී පුරන්අප්පු අතින් සකස්‌ විය. තමන්ට සහාය දීම සඳහා ජුඩාන් සහ මොරිව් යන සෙන්පතියන් දෙදෙනාට මාර්ග දෙකකින් රණබිමට එනසේ නියෝග කොට නැපෝලියන් ප්‍රධාන මඟින් රණබිමට විපිසියා සේ, පුරන්අප්පු ද මාතලේ අල්ලා ගැනීමට ගොංගාලෙ ගොඩ බණ්‌ඩා, ඩිංගිරාළ සහ දිනෙස්‌ යන රූකඩ රජවරුන්ට අතුරු මාර්ගයන් ඔස්‌සේ එන ලෙස නියෝග කොට තෙමේ ප්‍රධාන මඟින් රණබිමට පිවිසියේය. 

මෙතරම් ක්‍රියාශීලී, බුද්ධිමත් වැඩ පිළිවෙළක්‌ පුරන්අප්පු විසින් ක්‍රියාත්මක කිරීම ඉතාම අගය කොට සැලකිය යුතුය. තවද ඔවුන්ගේ රණකාමිත්වය හා බුද්ධි මහිමයද මෙයින් මැනගත හැකිය. පහත රැටියෙකු මෙවැනි වැඩ පිළිවෙළක්‌ සකස්‌ කිරීමත් අවසානය දක්‌වා එය ක්‍රියාත්මක කිරීමට තැත් කිරීමත් සිංහලයන් සදා ගෞරවයෙන් සිහිකළ යුතුසේ පෙනේ. 

පුරන්අප්පු පළමු වැනි වලිසිංහ යන නමින් රජ බවට පැමිණ රූකඩ රජවරුන් ද පත්කොට ඔටුණු පැළඳීමේ උත්සවය දඹුලු විහාරයේදී පවැත්වීමට තීරණය විය. ඔටුණු පැළඳීමේ මංගල්‍යයේදී ප්‍රධාන ඔටුන්න සහ අනෙක්‌ ඔටුණුද පළඳවන ලද්දේ එවකට දඹුලු විහාරයේ වැඩ සිටි කුඩාපොළ ස්‌වාමීන් වහන්සේ විසිනි. මේ අවස්‌ථාවේ දී පුරන්අප්පුට පළඳවන ලද ප්‍රධාන ඔටුන්න නිශ්ශංකමල්ල රජුට අයත් වූවකි. මෙය හා දඹුලු විහාරයේ තිබී සොයා ගන්නා ලද්දකි. 

පුරන්අප්පුට සහ අනෙක්‌ රජවරුනට ඔටුණු පැළඳවීම එදිනට යෙදුණු සුබ මොහොතින් චිරාගත බෞද්ධ සම්ප්‍රදායන්ට අනුකූලව පැවැත්විණි. භික්‌ෂූන් වහන්සේද රදළවරුද, සාමාන්‍ය ජනතාවද මේ උත්සවයට සහභාගිවීම සඳහා පැමිණ සිටියහ. ඔටුණු පළදන සුබ මෙහොත එළැඹෙත්ම භික්‌ෂූන් වහන්සේ පිරිත් දේශනා කරද්දී පුරන්අප්පු රජුට සහ අනෙක්‌ රූකඩ රජවරුනට ඔටුණු පැළඳ විය. ඔටුණු පළඳවා අවසානයේදී කුඩාපොළ ස්‌වාමීන් වහන්සේ පුරන්අප්පු සිංහලයන්ගේ රජු වශයෙන්ද ඔටුණු පැළඳු බැව් ප්‍රකාශ කළහ. වැසියෝ එක්‌ව ප්‍රධාන රජුවූ පුරන්අප්පු රන් දෝලාවකින් ද රූකඩ රජවරුන් අවශේෂ දෝලාවලින්ද ගෙන ගියහ.

කලින් තීරණය කරගත් පරිදි ජුලි මස 26 වැනි දින පුරන්අප්පු ලක්‌ෂයක්‌ පමණ සේනාවක්‌ සමග දඹුල්ලෙන් පිටත්වීමටත් රූකඩ රජවරුන් තිදෙනාද පිළිවෙළින් දඹුල්ල කුරුණෑගල හා හඟුරන්කෙතින් පිටත් වීමටත් තීරණය විය. 

රජතුමාගේ අණ පරිදි රූකඩ රජවරුන්ගේ ප්‍රධානියා වූ ගොන්ගාලෙගොඩ බණ්‌ඩා ජුලි 26 වැනි දින යුද සේනාවක්‌ සමග දඹුල්ලෙන් පිටත්ව සෙල්ලමංගල සහ කෝන්ගහවෙල පසුකොට පල්ලේ පත්තුවට පැමිණ 27 වැනිදා රාත්‍රියේ එහි නැවැතී සිට මාතලේ හරහා නොගොස්‌ වෙනත් මාර්ගයකින් ඊට දකුණු පැත්තෙන් වාරියපොළට යැමට ගියේය. 

එකල මාතලේ දිසාපතිතුමාට මේ භයානක තත්ත්වය අවබෝධ විය. පනහකින් යුක්‌ත පොලිස්‌ භට හමුදාවක්‌ ඔහු විසින් මහනුවර පෙදෙසට වහා යවන ලදී. තවත් පොලිස්‌ බල ඇණියක්‌ මාතලේට යෑවිණි. මේ අතර නගරයේ ඇති කලබල ස්‌වභාවය තේරුම් ගත් මාතලේ සිටි මහෙස්‌ත්‍රාත්වරයා වාරියපොළ අතහැර ගිය නමුදු ඔහුගේ දියණියන් වන වෝරින් මෙනවිය මේ අවස්‌ථාවේදී මහෙස්‌ත්‍රාත්වරයාට ගෙන යැමට නොහැකි විය. ගොන්ගාලෙගොඩ බණ්‌ඩා ඇතුළු පිරිස පොලිස්‌ නඩුකාර මහතාගේ මැදුරට පැමිණෙන විට ඕ බීර පීප්පයකින් බීර ගනිමින් සිටියාය. ඕ මේ කෝපාවිෂ්ට පිරිස දුටු විට අශ්වයකු පිටනැඟී නගරය අතහැර ගියාය. ගොන්ගාලෙගොඩ බණ්‌ඩා ඇතුළු පිරිස වොරින් මෙනවිය අල්ලා පුරන් අප්පු වෙත ගෙන ගියෙන් පුරන්අප්පු වොරින් මෙනවියට කිසි හිරිහැරයක්‌ කරන්නට ඉඩ නොදී හල්පේ මහතාට අයිති දෝලාවකින් ඇගේ පියාවෙත යවන ලදී. මෙයින් පැහැදිලි වන්නේ පුරන්අප්පුට වුවමනා කළේ අසරණ, අහිංසක ඉංගී්‍රසීන්ගෙන් පලිගැනීම නොව, දරදඩු ඉංගී්‍රසි පාලනයෙන් පලිගැනීමටය.

සූදානම් කරගත් අයුරු ජුලි 26 වැනි බදාදා පුරන්අප්පු ප්‍රභූඋඩරැටියන් ඇතුළු සාමාන්‍ය ජනතාව විසින් රාජකීය දෝලාවකින් ගෙන යන ලදී. පුරන්අප්පුගේ සේනාවද අති මහත්ය. එසේම ඔහු පහර දෙන්නට යන මාර්ගය ඉතාම දුෂ්කර වූද අති භයංකාර වූද එකක්‌ විය. මේ සේනාව ඉදිරියෙහි පුරන්අප්පුගේ පෙළපතෙහි ඉපැරැණි කොඩිය වන රණදැල් කොඩියද විය. 

පුරන්අප්පු ඔහුගේ සේනාව සමග ඉදිරියට ගමන් කරන විට පාර දෙපස ජනයා අත්පොළසන් දෙමින් ස්‌වකීය ප්‍රීතිය ප්‍රකාශ කරමින් ඔහුගේ සේනාවට එක්‌වූහ. 

මේ කාලය තුළදී එවකට මාතලේ පොලිස්‌ සුපිරින්ටැන්ඩන්ට්‌ තැනව සිටි දුනුවිල්ලේ ලොකු බණ්‌ඩා නමැත්තෙකි. මේ තත්ත්වය පරීක්‌ෂා කරනු සඳහා පැමිණ සිටියේය. 

මාතලේ හා ඒ අවට ප්‍රදේශවලින් යුද්ධ හමුදාවෝ ගලා ආහ. ජුලි 27 වැනිදා බ්‍රහස්‌පතින්දා පුරන්අප්පු තමාගේ බලය තහවුරු කර ගනිමින් සිටියේය. එකල සිංහල සිරිත අනුව රටක්‌ හෝ ප්‍රදේශයක්‌ යටත් කිරීමේදී යුද්ධයට යන අනිකුත් අවශේෂ සේනාව බෙර ගැසීමද, නළා හොරණෑ පිඹීමද සිරිත විය. මේ යුද සේනාවද මෙසේ ප්‍රීතියෙන් කාලය ගෙවමින් තමන්ට හමුවන හැම මන්දිරයක්‌ම හැම ආයතනයක්‌ම හැම රාජකීය සේවා කාර්යාලයක්‌ම එහි ඇති රාජකීය ලියකියවිලි සියල්ලක්‌ම විනාශ කොට සුන්බුන් කොට ලෙනදොර කවුඩුපැලැල්ල, නාලන්ද පළාපත්වෙල රඹුක්‌කන සහ අළුවිහාරය යන ප්‍රදේශයන් හරහා මධ්‍යාහ්න වේලාවේ මාතලේට පැමිණ "මැක්‌ඩෝවල්" කොටුව බිඳ දමා මාතලේ නගරය අල්ලා ගත්හ. 

ඒ අවස්‌ථාවේදී මාතලේ නගරය ශ්‍රී විභූතියෙන් ඇලලී ගියේය. පීති නාදයෙන් මිශ්‍රවූ ඔල්වර හඬ මාතලය නගරයෙන් නික්‌මී කඳු පාන්තයන්හි නැඟී රැව් පිළිරැව් දිණි. ජාතික ප්‍රබෝධයෙන් මත්වූ සිංහලයෝ හතරරියන් දේහයක්‌ ඇති පුරන්අප්පු රජු පිරිවරා ප්‍රීති ඝෝෂා පැවැත්වූහ. ඒ ඔවුන්ගේ බලවත් ජයග්‍රහණයෙන් ලැබූ ස්‌ව ජාතික හැඟුම් තුළින් විහිදුන ප්‍රීතිය නිම්හිම් නැති විය. 

මේ ජයග්‍රහණයෙන් උදම් වූ ජනකාය විසින් ඔවුන් තෝරාගත් නියම රජාගේ නම පුරන්අප්පු බැව් ජුලි මස 28 වැනිදා සිකුරාදා ප්‍රසිද්ධ කරන ලදී. මේ වනතුරු නියම රජතුමා කවරෙක්‌ දැයි බ්‍රිතාන්‍යයෝ නොදැන සිටියහ. සිංහලයන්ගේ ඊළඟ පියවර වූයේ මහනුවර ඉංගී්‍රසි යුද හමුදාවේ ශක්‌තිය හීන කරවීමය. ජනතාව මැඬ පැවැත්වීමට යුද හමුදාව ඔවුන් හා මුහුණට මුහුණ ලා විථි කරා ආ කල්හි ජනතාවගේ පරමාර්ථයන් මුදුන් පැමිණෙන තුරු ආපසු නොයන බවට සිංහලයෝ ඉටා ගත්හ. 

මේ කැරැල්ල යටගිය කැරලිවලට වඩා උත්සන්න වූයේ අනෙකක්‌ නිසා නොව අනිත් යුද සේනාවන්ගේද ආධාර ඇතිව ප්‍රධාන නගරය වූ මහනුවර අල්ලා ගැනීම මේ කැරැල්ලේ නායකයාගේ අධිෂ්ඨානය වූ හෙයිනි. ජුලි මස 29 වැනිදා සෙනසුරාදා පෙරවරු කාලයෙහි පුරන්අප්පු රජු සහ ඔහුගේ පිරිස ප්‍රීති ප්‍රමෝදයෙන් මාතලේ සිට මහනුවර බලා ගමන් කළෝය. බලකඩුව දුර්ගය අසලදී ඉංගිරිසින්ට විරුද්ධව දෙන ලද පහර එතරම් සඵල නොවූයේ බලාපොරොත්තු සේනාවන් නොපැමිණි නිසාය. බලාපොරොත්තු වූ යුද සේනාවන් ඇතුළු රූකඩ රජවරුන් ඔවුනොවුන්ගේ වුවමනාවන් සඳහා මහා මාර්ගයන්හි නැවතී සිට සුරා පානය කළ නිසා නියම වේලාවට සහ ස්‌ථීර කරගත් දිනයට පැමිණීමට නොහැකි විය. 

මේ කරුණු හේතු කොටගෙන පුරන්අප්පුට සටන ජයග්‍රහණය කරා ගෙන ඒමට නොහැකි විය. මේ අවස්‌ථාවේදී රජුට ආධාර දීම සඳහා සිටි අගමැති රත්වත්තේ අදිකාරී මහතා ඇතුළු විශාල පිරිසක්‌ පැන ගියෝය. වර්ෂ 1848 අගෝස්‌තු මස 2 වැනිදා පුරන්අප්පු රජු ඉංගී්‍රසින් විසින් අල්ලා ගන්නා ලදී. 

පුරන්අප්පු 1848 අගෝස්‌තු 2 වැනි දින මාතලේ සිට මහනුවර බලා යන මාර්ගයේදී අල්ලා ගනු ලැබීය. මහනුවරට ළඟාවන පුරන්අප්පු අතරමඟදී ඔහුගේ ඥති සහෝදරයකු වූ ඩබ්ලිව්. ඇලෙක්‌සන්ඩර් ප්‍රනාන්දු සහ ඔහුගේ බිරිඳ අමතා "සහෝදරය" මා වගේ තව පුතෙක්‌ මගේ මවට සිටියේ නම් මේ සිංහල රාජධානිය කිසිකලෙක සුදු ගෙරියාට නොදෙමි යි කීවේය. ඔහු තවදුරටත් මා විසින් ඔබට බාරදෙන ලද ඒ පූජනීය වස්‌තුව ඔබගේ නේත්‍රා සේ ආරක්‌ෂා කර ගන්නා ඔබගෙන් පැවත එන්නෙකුට කවදා හෝ අවශ්‍ය වේ යෑයිද පවසා යමක්‌ භාර දුන්නේය.

විශේෂ යුද්ධාධිකරණයක්‌ ඉදිරියෙහි පුරන් අප්පුට විරුද්ධව නඩු විභාගයක්‌ අගෝස්‌තු 8 දා අග්‍රවිනිශ්චයකාර සර් ඇන්තනි ඔලිපහන්ව් මහතා විසින් මහනුවරදී පවත්වන ලදී. ඔහුට විරුද්ධව නගන ලද චෝදනා නම්, ඔහු මහනුවර රජ වශයෙන් ප්‍රකාශ කරලීමත්, වික්‌ටෝරියා අගරැජිනට විරුද්ධව කැරලි ගැසීමත්ය.

මේ චෝදනාවලට පිළිතුරු වශයෙන්, ඔව් මහනුවරවාසීන් පත් කළ රජා මමයි, මගේ නහර රාජකීය ලෙයින් පිරී තිබේ. මගේ ජනතාව ස්‌ථිරව එඩිතරව සිටියාහු නම් මහනුවර රාජධානිය මට හිමිවේ. යයි පුරන් අප්පු අග්‍ර විනිශ්චයකාර ඇන්තනි ඔලිපහන්ට්‌ තුමාට නිර්භීත ලෙස ප්‍රකාශ කළේය.

මේ වචන අග්‍ර විනිශ්චයකාරතුමාට ශ්‍රවණය වූ විගසෙහිම ප්‍රකෝපයට පැමිණ ඔහු වරදකරු කොට මරණීය දණ්‌ඩනය නියම කළේය.

යුද්ධාධිකරණ නඩු විභාගයෙන් දින හයකට පසු රජ වූ පුරන් අප්පු වෙඩි තබා මරණ ලෙස නියෝග කළෙන් බෝගම්බර වැව අසල පිහිටි කන්ද ළඟට ගෙන යන ලදී.

වෙඩි තැබීමට මෙසේ පුරන් අප්පු ගෙන ගියත් මරණය පිළිබඳ ඔහු තුළ කිසිම බියක්‌ නොවීය. ඔහු ශෝක වූයේ කනගාටු වුයේ මරණයට බියෙන් නොව සිංහලයන්ට අහිතකර වූ සුද්දන්ගෙන් මෙරට පාලන ක්‍රමය සිංහලයන් අතට ගන්ට බැරිවූ නිසාය.

වෙඩි තැබීමට ස්‌වල්ප මොහොතකට පෙර එතැනට රැස්‌වූ ජනකාය අමතා මා වාගේ විර්යවත්, ධෛර්යවත් වීරයන් හතර දෙනෙක්‌ සිටියේ නම් මේ වීර සන්නද්ධයා සුදු ගෙරියා මෙරටින් පන්නා දමනවා ඇතැයි පුරන් අප්පු කීවේය.

වෙඩි පහරවල් දොළහක්‌ම එක පිට එක ඔහුගේ සිරුර පසා කරගෙන යද්දී සුද්දන් මේ රටින් එලවීමේ පරම අධිෂ්ඨානය ඔවුගේ සිතේ තිබුණු නිසා එඩිතර බව හා නිර්භීත භාවය හේ පෙන්වීය. එහෙත් දහතුන් වැනි වෙඩි පහර වැදෙත්ම මේ ශ්‍රෝෂ්ඨ සිංහලයාගේ හද දෙපළු වූයෙන් (වර්ෂ 1848 අගොස්‌තු මස 8 වැනි අඟහරුවාදා) අවසාන හුස්‌ම හෙළීය.

කුඩාපොළ ස්‌වාමීන් වහන්සේට විරුද්ධව යුද්ධාධිකරණයේදී නගන ලද චෝදනාව නම් උන්වහන්සේ මාතලේ කැරැල්ලට ආධාර දීමත්, පුරන් අප්පු රජු වශයෙන් පිළිගෙන ඔටුණු පැළඳවීමත්, වික්‌ටෝරියා අග රැජිනට විරුද්ධව කැරලි ගැසීමත්ය. මේ චෝදනාවලට වැරැදිකරු ලෙස පිළිගත් යුද්ධාධිකරණය විසින් කුඩාපොල ස්‌වාමීන් වහන්සේ වෙඩි තබා මරා දමන ලෙස නියම කළේය. ඒ නිසා වර්ෂ 1848 අගෝස්‌තු 26 වැනිදා බෝගම්බර වැව අසලට ගෙන ගොස්‌ සිවුරු පිටින්ම ආගම් විරෝධී ලෙස වෙඩි තබා මරණ ලදී.

යුද්ධාධිකරණයෙහි නඩු විභාගයෙන් පසු කැරැල්ලට ආධාර දීම නිසාත් පුරන් අප්පු රජු බවට පත් කළ නිසාත් ගොන්ගාලේගොඩ බණ්‌ඩා මරණීය දණ්‌ඩනයට නියම වූ නමුදු අන්තිමේදී ඉන් නිදහස්‌ කොට කස පහර සියයක්‌ තළා මලක්‌කාවට පිටුවහල් කරන ලදී. 

ඩිංගිරාල කෝරල හතක පාලකයා වශයෙන් ප්‍රසිද්ධවූ නිසා හෙතම යුද්ධාධිකරණය ඉදිරිපිටදී වරදකරුවූ හෙයින් ඔහු අගෝස්‌තු මස 5 වැනිදා වෙඩි තබා මරණ ලදුව කුරුණෑගල නුග ගසක ඔහුගේ මළකඳ දින හතරක්‌ම එල්ලා තබන ලදී. 

රණබිමෙන් පැන ගිය දිනේ වෙඩි තබා මරණ ලදී. 

පුරන්අප්පු විසින් මෙහෙය වන ලද කැරැල්ල සිංහල ජනතාව එකම බැම්මකින් බැඳ තැබීමට හේතුවුවා පමණක්‌ නොව ඉන් ජාතික ප්‍රබෝධයක්‌ද ඇති විය. ස්‌වදේශීය අනුරාගයෙන් පීඩිත ජනතාවගේ කම්කටොලු දැක කරන ලද මේ කැරැල්ල හේතුකොට ගෙන සිංහලයන්ගේ එකමුතු බවක්‌ ඇති විය.

එකල යුද්ධ නීතිය පනවා තිබීම ගැන එංගලන්ත පාර්ලිමේන්තුවට ලංකාවාසී ප්‍රභූ ජනයා විසින් කරන ලද පැමිණිල්ලක්‌ අනුව කරුණු සෙවීමට කොමිටියක්‌ ද පත් කරන ලදී. ඒ කොමිටියේ නිගමනය අනුව එකල ආZණ්‌ඩුකාරයා වූ ටොරිංටන් සාමි, සැම් සර් එමර්සන් ටෙනන්ට්‌ හා පී.ඊ. වුඩ්හවුස්‌ යන මහත්වරුන් මෙරටින් පිට මං කරන ලදී. 

0 comments:

Post a Comment