Wednesday 10 April 2013

Posted by Unknown On 06:42


හිරු අහසේ ගිනිගනිමින් තිබිණ. තුරු වදුලින් සෙවණ වූ තැනෙක ගල්තලාවක් මත වැතිර එදෙස බලා සිටි කීර්ති කුමරාට මෙසේ සිතිවිල්ලක් නැඟිණ.
හිරු තමා ගිනි ගන්වාගෙන ලෝකයේ අඳුර පලවා හරියි.
මේ තුරු මුදුන් අව්වට වියළී පහළ වූ කුඩා තුරු ලතා පද්ධතියට සෙවණ සලසයි.
අනාගතයට වැඩකිරීම ස්වභාව ධර්මයේ ද අගනා බලාපොරොත්තුවකි. මුළු මහත් සිරිලක චෝල අධිරාජ්‍යයේ ගින්නෙන් දැවෙමින් තිබුණ ද අප කරන කාර්යය කුමක්ද? අපේ උරුමය රැකදෙන්නට ඔටුන්නක් නැත.
චෝලයන් ඒ ඔටුන්න අපෙන් උදුරාගෙන ඇත. නිවටකමින් හෝ බියගුලුකමින් ජීවත්වීමෙන් මේ රටට සිදුවන්නේ මහත් විපතෙකි.
පස්වැනි මිහිඳු රජු අල්ලාගෙන චෝල දේශයට ගෙනයාමත් සමඟ ම රුහුණට පැන ගිය වික‍්‍රමබාහු කුමරා අට අවුරුද්දක් තිස්සේ ම රුහුණේ සේනා සංවිධානය කළ ද, චෝලයනට එදිරි සටනට පෙර ඒ රජු මිය යාම රුහුණේ සිංහලයන්ගේ බලාපොරොත්තු කඩ වී ගිය තවත් අවස්ථාවක් විය. කීර්ති කුමරා දැන් රකින බුදල්නා වික‍්‍රමබාහු රජුගේ සෙනෙවියෙකි.
ඔහුට මිතුරු කිත්ති නම් වෙනත් සේනාපතියෙක් ද සිටියේ ය.
ඔව්හු චෝලයනට එදිරි සටන සඳහා සේනා සංවිධානයේ අනලස් වූහ.
කුමරුවා මරා දමන්නට පැමිණි සොලීන් මරා දැමීමෙන් පසු බුදල්නා හෙවත් බුද්ධරාජ නම් මහා වීරයා පනාකඩුව මොරවක් කෝරලේ මලය පර්වත පාදයේ වන ගහණයේ තව තවත් සේනා සංවිධානයේ යෙදී සිටියේ ය.
සොළීනට එරෙහිව සටන් වදින බුද්ධරාජ ගේ තෙදබල පිළිබඳව මුළු මහත් රුහුණේ ම යශෝරාව නැංවිණ. මේ අතර සොළීන් පරදවා බලයක් රඳවා සිටි ලෝකේශ්වර (ලෝක) නම් තරුණ නායකයෙක් ද සිටියේ ය.
අනුරාධපුර රාජධානියේ ලම්බකර්ණ වංශයට උරුම වුණු ඔටුන්න ගැන කිසිදු තැකීමක් නොකළ ලෝකේශ්වර තම අභිමතාර්ථ සාධනය සඳහා ම උනන්දු වූවෙකි.
තනිව රුහුණේ රජවීම ඔහුගේ එකම අරමුණ වී ය.
මෙයට තදින්ම කිපුණු බුද්ධරාජ හා ලෝකේශ්වර අතර දබරයක් පැන නැංගේ ය. බුද්ධරාජට අවශ්‍ය වූයේ නැතිවී ගිය රජ උරුමය නැවත නඟා සිටුවීමට සිංහලයන් පෙලැඹවීමට ය.
බුද්ධරාජ ලෝකේශ්වර හා කෙළින් ම සටනට නොගොස් ඒ සඳහා කල් යල් බැලීය. ඒ සොළීන් පලවා හැරීමට තරම් ලෝකේශ්වරට සටන් ශක්තියක් ද තිබූ හෙයිනි.
තැනින් තැන සේවා සංවිධානයේ යෙදුණු බුද්ධරාජ හුණ්ණසාලා (හුණුවර) නම් ජනපදයට ගොස් එහි සිටියහුන් තමන් වෙත නතුªකරගන්නේ සිංහල රටේ නියම අයිතිය එක්ව මිස වෙන් වෙන් වී ලබාගත නො හැකි බැව් පෙන්වා දෙමිනි.
මේ ධීර වීර සිංහලයාට අරාජික රටේ දේශපෙ‍්‍ර්මී ජනතාව ගේ නොමඳ සහාය ලැබිණි. මලය රට කඳු පාමුල රැඳුණු බුද්ධරාජට ප‍්‍රදේශයේ උපන් වීර සිංහලයන් නිසා මහත් බලයක් වී ය.
මේ කාලයේ බුද්ධරාජ විසූ පෙදෙසේ සංඝ නම් නායක දෙවඥයෙක් ද සිටියේ ය. ඔහු අනාගතය දක්නට ශක්ති ඇත්තෙකි. බුද්ධරාජ වෙත පැමිණි සංඝ වරක් මෙසේ ප‍්‍රකාශ කළේ ය.
”මා හිමි මුගලන් සාමි මඟින් එතුමන්ගේ වැඩි මහලු පුත් කීර්ති කුමාරයාගේ ජන්ම පත පිරික්සීමි. එතුමා මහත් පුණ්‍යවන්තය.
බලයෙන් වීර්යයෙන් පිරිපුන්ය. නුවණැත්තේය. වික‍්‍රමවත්ය. ලක්දිව තබා දඹදිව වුවද රාජ්‍ය එක්සත් කරන්නට තරම් පුණ්‍ය ශක්තිය හා චිත්ත ශක්තිය ද ඇත්තේය.
මේ වචන ඇසූ බුද්ධරාජ බෙහෙවින් තුටු පහටු වී චෝලයන් පලවා සිංහලය යළි නඟා සිටුවන සටනට තවත් වීරවරයෙක් සිටී යැයි උදාන කතාවක් කී ය.
මේ රට චෝලයන්ගෙන් බේරා මව් බිසව බලන්නට එන බවට ප‍්‍රතිඥා දෙමින් වනයෙන් පිටමංව ගිය කීර්ති කුමාරයා ද සිටියේ මුල්සල නම් ගමක ය.
කීර්ති කුමරා ඉගෙනීමෙහි සූරයකු නිසා ශිල්ප ශාස්ත‍්‍ර ඉගෙනුමට හා කාව්‍ය ශාස්ත‍්‍රයට නැඹුරු වූ සිතින් එහි රහස් තැනෙක සැඟවී ඇති බව මේ වන විට ද බුදල්නා හෙවත් බුද්ධරාජ හොඳින් දැන සිටියේ ය. රහස් පයිංඩයක් කීර්ති කුමරුවා වෙත යැවීමට හෙතෙම වහාම පියවර ගත්තේ ය.
පයිංඩයෙන් උද්දාම පත් සොළෙස් හැවිරිදි (16) කීර්ති කුමරු දුන්න පමණක් රැගෙන රහසේම සිරිවග්ග පිට්ඨි (සිරිවග පිටිය) ගමට පැමිණ බුද්ධරාජ හමු විය. මේ වනවිට බුද්ධරාජ සෙන්පතියාට එක්වූ අය අතර මිහිඳු රජ කාලයේ පටන් ම චෝල බලයට එරෙහිව කටයුතු කළ රාජ සභාවේ නියුක්තව සිටි කිත්ති නම් තවත් ප‍්‍රබලයෙක් ද විය.
සේනාව සංවිධානය කරගත් කීර්ති කුමරා පළමුවෙන්ම කළේ බුද්ධරාජගේ උදව් ඇතිව රුහුණේ එවකට නායකකම් දැරූ ආත්මාර්ථකාමී ලෝකේශ්වර සතුව තිබුණු බෝවල (බෝධිවාල) නම් ගමට හේවායින් යැවීමය. මේ බව දැනගත් ;ල¤කේශ්වර ද කීර්ති කුමරා මැරීමට සේනාවක් එවී ය.
කීර්ති කුමරා කුඩා කල පටන්ම සංග‍්‍රාම සූරයෙකි. කුමරාගේ සංග‍්‍රාම උපදේස හා සටන්කාමිත්වය හමුවේ ලෝකේශ්වරගේ සේනාව හිරු දුටු කදෝපැණියන් මෙන් අන්තර්ධාන වූහ. ඔවුන් හිස් ලූ ලූ අත දිවුවේ ජීවිත දානය ඉල්ලමිනි.
අනතුරුව ක‍්‍රමයෙන් කුමරාගේ බලය සොළෙස් කලා පිහිටා නැගෙන චන්ද්‍රයා පරිද්දෙන් නැඟුණේ සිංහල ජන ප‍්‍රධානීන් හා සිංහලයන් බුරුතු පිටින් එම සේනාවට එකතුª කරමිනි. ටික දවසකින් මුළු මහත් මලය රට මුළුල්ලම තමනට යටත් ප‍්‍රදේශ බවට පත්කර ගන්නට මේ කුමරා දක්ෂයෙක් වීය.
මේ අතර තවත් වතාවක් ලෝකේශ්වර සේනාවක් රැගෙන සටනට ආවත් එම සටනින් ද පැරද ඔහු පලාගියේ පැමිණියාටත් වඩා වැඩි වේගයකිනි. කීර්ති කුමාරයා ගේ සේනාවට බැඳෙන සිංහලයෝ දිනෙන් දින වැඩි වූහ. තමනට මේ කුමාරයා හැර වෙනත් ගැලවුම්කරුවකු නැතැයි තේරුම්ගත් ලක්වැස්සන් පුදුමාකාර උනන්දුවකින් ජවයකින් කටයුතු කරන බව පෙනිණ.
මේ අතර මකුගමු නම් ගමෙහි කීර්ති නම් ඇමැතියකුගේ පුතු දේවමල් නම් සෙන්පතියෙක් නෑදෑයන් හා තම අනුගාමිකයන්ද සමඟ කීර්ති කුමරුට එක් විය.
ඊළඟට බුද්ධරාජ හා දේවමල්ල සමඟ සේනාව ද කැටුව කීර්ති කුමරා පැමිණියේ රත්මල්කන්ද නම් ස්ථානයකටය. එහි කඳවුරක් බැඳගත් කුමරු වෙත රුහුණු වැසි ඇමැතිවරු සිය සේනාද සමඟ පැමිණ එක්වූහ.
මලය මණ්ඩලයේ සියලු තැන්හි අණසක පැතිරූ කීර්ති කුමරුගේ යසෝරාවය ලෝකේශ්වරට මහත් හිසරදයකි.
ඔහු වඩාත් දොම්නසට පත්වූයේ තමනට පක්ෂපාතව සිටි ඇතැම් පිරිස් ද කීර්ති කුමරු වටා පෙළගැසීම නිසාවෙනි.
එනිසා නැවතත් කුමරු පරදවා බලය ලබාගැනීමට ලෝකේශ්වර උනන්දු විය. හෙතෙම මහත් යුද්ධ සේනාවක් මලය රටට එව්වේ කීර්ති හම ගසා දමනවා යැයි උදම් අනමිනි.
ඒත් එම සේනාව මලය රටට ඇතුළුවත්ම කීර්ති කුමරුගෙන් එල්ල වූ ප‍්‍රහාරය හමුවේ බොහෝ දෙනකුගේ හිස් අහිමි විය.
රුධිර ගංගා මහපොළොව තෙත් කළේ ය. මේ සටනින් කුමරාගේ විස්මපත් සටන් උපක‍්‍රම තේරුම්ගත් ලෝකේශ්වර යුද්ධ කිරීමේ ආසාව අත්හැර දමා නිහඬ විය.
නිහඬතාව මහත් රණඝෝෂාවක පෙර නිමිත්තක් විය හැකියැයි සැක කළ කුමරා ඔහුගේ සයවැනි රාජ්‍ය වර්ෂයේ දී ලෝකේශ්වර පරලොවට යැව්වේ ය.
ලෝකේශ්වරගේ මරණයෙන් පසු කේශධාතු නායක කස්සප (කසුබ්) නමැත්තෙක් නැවතත් රුහුණෙහි රජවීය.
පොලොන්නරු පුරයෙහි විසූ සොළී අධිපතියා මේ බව දැනගත් වහා ම මහා සේනාවක්ද රැගෙන කස්සප හා යුදයට ගියේ ය. ඒ වනවිට බලවත් ව සිටි කස්සප රජු කිසිදු අපහසුවක් නැතිව සොළීන් පලවා හැරියේ කීර්ති කුමරු මෙන්ම වික‍්‍රමාන්විත සටන්පාමිනි.
කේෂධාතු කස්සප යන විරුදාවලිය එක්තරා රදළ පෙළපතක් සඳහා යොදාගත්තක් බව ගයිගර් මහතා පවසයි.
සොළීන් පරදා මහත් උද්දාමයට පත් කසුබ් කතරගම ද යටත් කරගත්තේ ය. හෙතෙම රුක්පහන් (රක්වාන) සීමාවෙහි තම ආරක්ෂාව සඳහා බලසෙනඟ රඳවා තෙමේ කතරගමට ගොස් විසී ය.
මේ අතර කීර්ති කුමරු පස්යොදුන් රට ආදී පෙදෙස්වල ජනතා සහාය ලබමින් කසුබ් හා සටනට එළැඹිණි. කතරගම සිදුවූ මහ සටනකින් අනතුරුව කසුබුට ද තම හිස අහිමි විය.
ඒ වනවිට කුමරු සතළොස් විය එළැඹුණා පමණි.
ලක්දිව පරසතුරන්ගෙන් මුදාගැනීමට නම් සොළීන් දිනා ඉන් හිස උදුම්මා ගත් මෙවැනි ප‍්‍රාදේශික පාලකයන් යටත් කළ යුතු බැව් ඇත්තකි.
“සියල්ලො එකම අරමුණකින් එක ධජයක් යටතේ සතුරාට එරෙහිව සටන් වැදිය යුතුය” කුමරා නිතර මන්ත‍්‍රණය කළ පාඨයකි.
කස්සප පරාජය කිරීමට කුමරාට හැකිවුව එය තරමක් අපහසු සංග‍්‍රාමයක් විය.
කස්සප ද බලවත් රජෙකි. ඔහු මුලදී කුමාරයාට විරුද්ධව සිප්පත්ථල දක්වා පැමිණියේ ය.
ප‍්‍රදේශයේ වැස්සන්ගේ සහය ලැබුණේ ඉතා මඳ වශයෙනි.
හේතුව සිංහල ජනතාව කීර්ති කුමරා සටන්වදින්නේ හුදු බලලෝභය නිසා නොව මේ මුළුමහත් සිංහලය චෝලයන්ගෙන් බේරාගැනීම සඳහා යැයි තේරුම්ගෙන සිටි නිසා ය.
කස්සප එවර කතරගම අත්හැර බදිරංගණී බලකොටුව දක්වා පසුබැස්සේ ය. එහෙත් ඔහු හඹා ආ කීර්ති කුමරු කස්සප හා කළේ ඉතා බිහිසුණු සටනෙකි.
කීර්ති කුමරා මෙහෙයවූ අසු මෙන්ම කසුබ්ගේ අසු ද පෙරළිකාරයෝ වූහ.
කඩුපත් ‘ටං ටං’ හඩින් ගැටෙද්දී අසුන්ගේ කුර ද එකට ගැටිණ.
උන් උස් හඩින් හේෂාරව නැඟුවේ පාදවලින් දූලි කැටි නංවමිනි.
කසුබ් දුන් කඩු පහරින් කුමරාගේ හිස බේරුණේ නූලෙනි. ඉතා උපායශීලීව අසු මතම පිටුපසට වන්නට නිමේෂයකින් දිගඇදුණු කීර්ති කුමරු විදුලියක් මෙන් යළි නැංගේ කසුබ් ගේ හිසට කඩුපත එල්ල කරමිනි.
උස් ගහකින් වැටෙන තල්ගෙඩියක් මෙන් සිඳුණු ඒ හිස බොල් හඬක් නඟමින් බිම වැටිණි.
කවන්ධය ද ඒ අසුටම පෑගුනේ කුමරුන්ගේ පහරින් කසුබ්ගේ අසුද කලබලවීම නිසා ය.
මුළු රෝහණය යටත් කළ කීර්ති කුමරු දේවමල්ල හා බුද්ධරාජ දෙදෙනාගේ සහායෙන් තවත් වසරක් පමණ ඇවෑමෙන් 18 වැනි වියෙහිදී විජයබාහු (කි‍්‍ර.ව. 1055-56) යන රාජකීය නාමයෙන් රෝහණයේ රජකම ලබා ගත්තේ ය.
විජයබාහු යන්නෙහි තේරුම “විජයග‍්‍රහණයේ හස්ත ඇත්තා” යන්න ය.

හා විජයබාහු නමින් රුහුණේ රජ බවට පත් කීර්ති කුමරා තෙළෙස් වියේ පටන් රුහුණේ මොරවක් කෝරලයේ පනාකඩුව බිම් පියසේ රැකවරණ ලැබූ බව දැනට හමුවී ඇති ශිලාලේඛනවලින් පැහැදිලිය.
1948 දී බෝගහදෙණිය නම් කුඹුරේදී ගොවි මහතකුට හමුවූ පනාකඩුව තඹ සන්නස පුංචි කාලයේ තමා රැක සිටි වීරවරයා සිත්නරු බිම් බුදල්නා හෙවත් බුද්ධරාජ හා එම පවුල වෙනුවෙන් යම් යම් ප‍්‍රදානයන් කළ රාජ ආඥාවක් සහිත එකකි. අනුරාධපුර පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අදත් සුරැකිව පවතින මේ තඹ සන්නසේ බර රාත්තල් 2 කුත් අවුන්ස 2 1/4 කි. පියලි 3 කි.
මෙහි බස සිංහල බසට සමාන වන අතර එහි උසස් භාෂා ලක්ෂණ ඇති බවද, එසේම එම බස් වහර 10, 12 සියවස්වලට කිට්ටු බවද හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණවිතානයෝ කියති. මෙහි ඉතා උසස් පබැඳුම් සහිතය.
බුද්ධරාජ නමැති මහා වීරවරයාත් ඔහුගේ අනුශාසකයනුත් ඒ කාලයේ ජීවත්වූයේ රුහුණේ මොරවක් කෝරලයේ පනාකඩුව ග‍්‍රාමයෙහිය.
පසුව කුඹුරක තිබී හමුවූ බව කීව ද මුල් කාලයේ මේ බිම බුදල්නා වාසය කළ ගෘහය තිබූ තැන යැයි ඇතැම් ඉතිහාසඥයෝ සැක පහළ කරති.
’පනාකඩුව‘ යනු ඓතිහාසික වශයෙන් අතිශය වැදගත්කමක් සනිටුහන් කරන වදනකි.
සොළීන්ගේ බලය හේතුකොටගෙන 11 වැනි සියවස මුල්භාගයේ දී වනගත ව සිටි මුගලන් රජ පවුල ආරක්ෂා කොට පෝෂණය කිරීම පිළිබඳව කළගුණ සැලකීමක් වශයෙන් විජයබාහු රජතුමා බුදල්නා නමැති වීරවරයාට දෙන ලද රාජ වරප‍්‍රසාද පැහැදිලි කරන ලේඛනයයි.
මේ සන්නස් පත‍්‍රය නිකුත් කරන ලද්දේ රජුගේ රාජ වර්ෂයෙන් වසර 27 කට පසුවය. එනම් 1082 දීය.
රජතුමා තමා හා රජ පවුල අතීතයේ විඳි දුක් ගැහැට පිළිබඳව මෙහිදී කෙටියෙන් සඳහන් කැර ඇත. මානුෂික හැඟීමෙන් පණ පෙවුණු වදන් මාලාවක් එහි දැක්ක හැකිය.
බුදල්නා පරපුරේ කවුරුන් වුවද කෙතරම් දෝහයක් කළත් ඔවුන් දෙස රවා බැලීම් මාත‍්‍රයක්වත් නොකරන හා නොකරවන ලෙසත් ඔවුන්ගෙන් පෙත් පමුණු ආදී බදු කිසිවක්ම අය නොකරන ලෙසත් මේ සන්නසින් ප‍්‍රකාශයට පත්විය.
විජයබාහු රජතුමා රුහුණු මහා මණ්ඩලයේම රජු බවට පත්වී කි‍්‍ර.ව.(1055) තවත් වසර 27 කින් අනුරාධපුරයේදී මේ තඹ සන්නස් ප‍්‍රදානය කළ බැවින් එනම් කි‍්‍ර.ව. (1082 දී) ප‍්‍රදානය සිදුව ඇති නිසා මේ ගැන දැනට වැඩිදුර විග‍්‍රහයකට යාම නුසුදුසුය.
එය කළ යුත්තේ විජයබා පොලොන්නරුව ජය ගැනීමෙන් අනතුරුව කරන විග‍්‍රහයකදීය. ඒ නිසා නැවතත් කතරගම හා රුහුණු රජකළ 18 වියැති විජයබාහු තරුණ කුමරාගේ පටන් කතාවට පිවිසෙමු.
කතරගම රාජධානිය කැරගෙන විජයබාහු රජතුමා රජකම ආරම්භ කරන ලද්දේ ප‍්‍රාදේශීය රජකු වශයෙනි.
කුඩා කළ රජකුමරකු වශයෙන් ද, අනතුරුව ආදිපාදවරයකු ලෙසින් ද තෙවනුව රජකු වශයෙන් ද අත්දැකීම්වලින් පූර්ණ වූ එතුමා ශක්තියෙන් හා නුවණින් මුහුකුරා ගියේය. එය රාජ්‍යයක් උසුලන්නකුට අවශ්‍යම සුදුසුකමකි.
මුගලන් මහාසාමි වූ තම පියාට උරුමය තිබූ කිරීටය පසුපසම හඹා ආ රණශූර විජයබාට එනමුදු රාජ සභාවක් පිළිබඳව හෝ රාජ්‍ය කටයුතු පිළිබඳව හෝ දැනීමක් ද නොවීය. රජ ගෙදර හැදුණකු නොවුණු නිසාවෙන් එතුමාට ඒ කටයුතු විචාරීම එක්වරම අපහසු වන්නට ඇත.
නායකත්වය හා අභීතකම අවංකකම ප‍්‍රතිපත්තිය ආදී ගුණයන්ගෙන් පිරිපුන් මේ රජුට ස්වපාක්ෂික අධිපතීන්ගේ් හා අනුගාමිකයන්ගේ ගෞරවාදරය නිතැතින්ම ලැබිණි.
ඉදිරි කාලයේදී මුළු මහත් චෝල අධිරාජ්‍යය කඩුගෑමට තරම් බලසම්පන්න දිරියක් තිබුණෙන් ස්වදේශික දේශපෙ‍්‍ර්මි ජනතාව තව තවත් එතුමා වටා රොක්වූයේ මීමැසි ගුලක රැජින වටා මැසි සමූහයා එක්වන පරිද්දෙනි.
රුහුණේ බලයට පත්වුව ඔටුනු නොපැළැඳි විජයබාහු රජතුමා ගේ එකම අදිටන වූයේ සොළී බලය මෙරටින් නෙරපා බෞද්ධ බලයක් මේ රටේ නැවත ස්ථාපිත කිරීමයි. සිය අණින් බෙර හසුරුවා තමන් අභිමත පරිදි ඇමැති මඩුල්ලක් ද පත්කැරවා ගත් රජතුමා මංගල කතාවේදීම මෙසේ කීවේය.
”රජරට අප මුතුන්මිත්තන්ගේ් දේශයයි. ඒ දේශයේ දැන් සිටින්නේ ඉන්දියාවේ වීරරාජේන්ද්‍ර හා රාජරාජ නමැති බලවත් සොළී රජුන්ගේ සොළී ජනරාල්වරයෙක්. ථූපාරාමය, අභයගිරිය, රුවන්වැලිසෑය ආදී අපේ බෞද්ධ මහා චෛත්‍යයන් වගේම සිරිමහ බෝ සමිඳුන් දැන් සොළීන්ගේ් කිලිටි දෑතින් අපවිත‍්‍ර වෙලා.
ඔවුන් කඩු ගෑ දමන තුරු මට රජකමෙන් වැඩෙක් නැත. ඇමැතියති වහ වහා සේනා සංවිධානය කරව්. ගම් දනව් සිසාරා බෙර හඬ පතුරව්. රුහුණු දේශය රැකගන්නා ගමන් ම අප රජරටට සීරුවට කඩා වැදිය යුතුයි. සොළී ජනරාල්වරයා බොටුවෙන්ම අල්වා ගත යුතුයි.
රජුගේ වේගවත් කතාව අසා සිටි දේශපෙ‍්‍ර්මි රුහුණු වැසියෝ ඔල්වරසන් දුන්හ. ඔවුන්ගේ අත්පොළසන් හඬ බොහෝ වේලාවක් යනතුරු පැවතිණි.
විජයබාහු රජු රජරට හැර රටේ අස්සක් මුල්ලක් නෑර සේනා යවමින් කරුණු පැහැදිලි කරමින් කළ මේ සංචාරය වඩාත් ඵලදායී එකක් විය. රටවැසියන් ප‍්‍රමෝදයට පත්ව රජු වටා පවුරක් මෙන් බැඳිණි.
විජයබාහු කෙමෙන් සිරිලක එක්සත්කම ඇති කරමින් රුහුණේ් රජ වී ඇති බව දැනගත් රජරට සොළී ජනරාල්වරයා මහත් සේ කිපුණේය. ඔහු වීර රාජේන්ද්‍ර හා රාජ රාජ නම් ඔවුන්ගේ ප‍්‍රධාන චෝල අධිරාජ්‍යයේ රජවරුන්ට මේ බැව් දැන්වීය.
එදා චෝලයනට ඉන්දියාවේ හා වෙනත් දේශ දේශාන්තරවල විශාල පිරිස් බලයක් තිබිණි. ඔවුන් විශාල නැව් හමුදාවක් මෙරට පිටත් කර එවා අනුරාධපුරයේ සිටි ජනරාල්වරයාට උදව් කළේය.
විජයබා තවදුරටත් රටේ කොතැනකටවත් පැන ගත නොහෙන පරිදි අල්ලා බැඳ ගත යුතුයි. නැත්නම් දුටු වහාම මරා දැමිය යුතුයි. වීර රාජේන්ද්‍ර සේනාව බාර නායකයාට ගුගුළේ ඇසූ දුටුවන් මවිත කරවන තරමේ කම්පනයකිනි.
නැව් මඟින් ආ චෝල හමුදාව අනුරාධපුරයේ දී සොළී ජනරාල්වරයාගේ හමුදාවට එක්විය. මේ බල සේනාව විජයබා රජුගේ සේනාවට වඩා සිවු ගුණයකින් පමණ විශාල වූවකි.
”රුහුණු කතරගම විනාශ කොට මිස මෙහි එන්නේ නෑ මෙරට සොළී ප‍්‍රතිරාජයා කීවේය. මහ බලසෙනඟක් රුහුණට එවීමට කටයුතු කළ තෙමේ අනුරාධපුරයේ නතර විය.
පොලොන්නරුවේ සිට රුහුණට ආ මේ සොළී හමුදාව අති විශාල වූයෙන් විජයබා එකවර තම සුළු සේනාව ඔවුන්ට එරෙහිව මෙහෙයවන්නට කල්පනා නොකළේය. රණශූර උපාය මාර්ගයේ දක්ෂතා ඇති විජයබා සංග‍්‍රාමයේ දී මෝඩ විදියට සටන් කරන්නකු නොවේ. එතුමා දෙතුන්වතාවක්ම කල්පනා කැර මෙය සටන් කිරීමට අවස්ථාව නොවන බව තේරුම් ගත්තේය.
ඇමැතියෝ ද පලායනු යෙහෙකි රජතුමනි, යැයි උපදෙස් දුන්හ.
කඳුකර වනාන්තරය විජයබාහුට හොඳින් හුරු පුරුදුය. එතුමා කඳුකර වනාන්තරය හරහා රැකවරණ පතා සේනාවද කැටුව පලාගියේය. ඒ තම පිරිස සතුරන් විසින් මරා දමනු ලැබීම නොරිසි නිසාවෙනි.
රජු කතරගමින් පිටව ගිය බව දත් සොළීහු මහත් ප‍්‍රීති ඝෝෂා නැඟූහ. පාළු නිවසක වළං බිඳින්නාක් මෙන් ඔව්හු කතරගම කොල්ල කෑහ. සිත් සේ සුරා බී නැටූහ.
කඳුකර වනගහනය හරහා පලා ගිය විජයබා රජු තඹලගම සිය වාසය කැර ගත් බව පෙනෙයි. මේ තඹලගම පිහිටා ඇත්තේ ගිංගඟ ඉහළ ප‍්‍රදේශයේ බටුවංගලට නුදුරුව ගාලු දිසාවේ හිනිදුම්පත්තුවේ බව ‘1921 ලංකා ජනගහනය’ නම් පොතෙහි සඳහන්ය.
මෙ කියන තඹලගම මහාවංසයෙහි සඳහන් වන තඹලගම ම නම්, දක්ෂිණ දේශයේ මායිමේ, රෝහණයේ බටහිර දිගින් විජයබාහු රජුගේ බලය මහත් සේ කේන්ද්‍රගතව තිබූ බව ද පෙනෙයි.
විජයබාහුගේ පැනයාම ගැන ලඝු කොට සිතීම වැරැදිය. ලංකාවේ මෙතෙක් ඉතිහාසය බිහිකැර ඇති විශිෂ්ටතම උපායමාර්ග විශේෂඥයා ලෙස සිරිලක සහමුලින්ම බලගතු විදේශීය අධිරාජ්‍යයක තර්ජනයට ලක්ව සිටි අවස්ථාවක ක‍්‍රමානුකූල සන්නද්ධ අරගලයක් කරන සැබෑ මිනිසකුගේ කතාව මින් කියැවේ. එහි පලායාමද එක් අංගයක් විය හැකිය.
මතු සම්බන්ධයි

0 comments:

Post a Comment