Thursday 18 April 2013

Posted by Unknown On 07:38




ගියපාර රාජාවලිය ලිපිය අපි නතර කළේ පස්වන කාශ්‍යප රජතුමා රජ උනා කියල නේ. මේ රජතුමා දැහැමිව රට පාලනය කරපු හොඳ රජ කෙනෙක්.

ඔය කාලෙදි අපේ අසල්වැසි ඉන්දියාවේ සොලීන් සහ පාණ්ඩ්‍යයින් අතර සටන් ඇවිලිලා තිබුනලු. සොලීන්ගේ පහර දීම හමුවේ අසරණ වෙච්ච පඬි රජතුමා අපේ කාශ්‍යප රජුගෙන් ආධාර ඉල්ලීමේ ප්‍රතිඵලයක් හැටියට ලංකාවෙන් හමුදාවක් පාණ්ඩ්‍යයින්ගේ සහයට යවනවා. මේ හින්දා උද්දාමයට පත්වෙන පඬි රජතුමා පඬි සහ ලක් සේනා දෙකම එකතු කරගෙන චෝලයින් ඉදිරියට යනවා. වෙල්ලූර් වලදී දෙපිරිස මුණ ගැහිලා ඉතාමත් දරුණු සටනක් අරඹනවා. මේ වෙලාවේදී අවාසනාවකට ලක් සේනාවට වසංගත රෝගයක් වැළඳිලා එක එකා මිය යන්න පටන් ගන්නවා. මේ බව අසා දුක් වෙන කාශ්‍යප රජතුමා ඉතිරි සෙබළුන් වහාම ලක්දිවට ගෙන්වා ගන්න වග බලා ගන්නවා. වෙල්ලූර් සටන ජය පරාජයක් නැතුවම අවසන් උන බවයි කියවෙන්නේ. 

ක්‍රි. ව. 939 දී පස්වන කාශ්‍යප රජතුමා මිය ගියාට පස්සේ රජකම ලැබෙන්නේ ඔහුගේ පුත්හතරවන දප්පුල රජතුමාට (ක්‍රි. ව. 939 - 940). ඒත් එයින් මාස 7 කට පස්සේ ඔහු මිය ගිය නිසා ඉන් පස්සේ ඔහුගේ සොහොයුරු පස්වන දප්පුල රජ වෙනවා (ක්‍රි. ව. 940 - 952). මේ කාලයේදීත් පස්වන කාශ්‍යප රජුගේ කාලයේදී වගේම සොලීන් විසින් පඬි දේශය ආක්‍රමණය කිරීම නිසා පඬි රජු සහය පතා ලංකාවට එනවා. දප්පුල රජු යුධ ආධාර ලබා දෙන්න සූදානම් උනත් ප්‍රාදේශීය නායකයින් එයට එරෙහිව නැගී සිටින නිසා ඒ අදහස අත්හැරගන්න සිදු වෙනවා. මේ නිසා පඬි රජතුමා, ඔටුන්න ඇතුළු වටිනා භාණ්ඩ දප්පුලV රජු භාරයේ තබා කේරළය බලා පිටත් වෙනවා.  

පස්වන දප්පුල රජතුමා මිය යන විට යුව රජුව සිටි ආදිපාදවරයා උදය II නමින් රජ වෙනවා (ක්‍රි. ව. 952 - 955). ඒත් ඇමතිවරුන් අතර මේ රජතුමා ගැන අප්‍රසාදයක් හට ගන්නවා. හේතුව නොදනී. මේ ගැන රජතුමාගේ කනට වැටීම නිසා ඇමතිවරු බයට පත් වෙලා තපෝ වනයකට පලා ගිහින් සැඟවී ජිවත් වෙනවා. කොහොම උනත් රජතුමාත් ඉන්නේ ඔවුන්ට බයෙන්. මේ නිසා යුවරජ සමග එකතු වෙලා උදය රජතුමා තපෝ වනය වටලා ඇමතිවරුන් සොයා දරුණු විදියේ සංහාරයක් කරනවා. මෙයින් කළකිරෙන තපෝවන භික්ෂුන් රුහුණට පලා යනවා. අවසානයේ පසුතැවිලි වන යුවරජ ඒ භික්ෂූන් සොයා ගොස් ඔවුන් නැවතත් තපෝ වනයට ගෙන්වාගන්න කටයුතු කරනවා. රජතුමාත් භික්ශුන්ගේ දෙපා මුල වැටී සමාව ගන්නවා. 

දෙවන උදය රජතුමා මිය ගියාට පස්සේ රජ වෙන්නේ යුවරජ ව සිටි ඔහුගේ සොහොයුරු තුන්වන සේන (ක්‍රි. ව. 955 - 964). ඔහු මේ වන විට ඉතාමත් දැහැමි පුද්ගලයෙක් බවට පත්ව සිටියා. ආගමානුකූලව දහමින් රට පාලනය කළ මෙතුමා දුප්පතුන්ටද උදව් උපකාර කරනවා. සේන III රජතුමා මියගියාට පස්සේ රජ වෙන්නේ යුව රජ වී සිටි ඔහුගේ හොඳ මිතුරෙක් වනතුන්වන උදය රජතුමා (ක්‍රි. ව. 964 - 972). මේ රජතුමා මත්පැනට ලොල් වූ උදාසීන පාලකයෙක් විදිහටයි සැළකෙන්නේ. මේ නිසා රටේ පරිපාලන කටයුතු එහෙම පිටින්ම අවුල් වෙලා ගියාලු. මෙයින් වෙන තවත් අවාසියක් තමයි චෝලයින් අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට සැරසීම. රට අවුල් සහගත තත්වය දුටු චෝල රජතුමා,  දප්පුලV රජුගේ කාලයේ පඬි රජු විසින් ලංකාවට භාර දුන් රාජ්‍ය ආභරණ ඉල්ලා සන්දේශයක් එවනවා. එහෙත් තුන්වන සේන රජතුමා එය ප්‍රතික්ෂේප කරනවා (ඒ වෙද්දී චෝලයින් පඬි රට යටත් කරගෙන). මෙයින් කිපෙන චෝල රජතුමා සේන රජුට විරුද්ධව සටන් කිරීමට සේනාවක් එවනවා. මේ සටනින් සිංහල හමුදාව පරාජය වෙද්දී උදය රජතුමා රුහුණට පලා යනවා. රජු හඹා යාම අපහසු බව දුටු සොලී සේනාව හැකි තරම් වස්තුව කොල්ල කා ගෙන ආපසු යනවා. කොහොම උනත් මේ ප්‍රශ්න ඇති උනේ තමන්ගේ දුර්වල කම නිසා බව තේරුම් ගන්න උදය රජතුමා ඒ ගැන පසුතැවි ශක්තිමත් හමුදාවක් සදා සොලී දේශයට යවනවා. ඔවුන් සොළින්ගේ වස්තුවද කොල්ල කාගෙන නැවත පැමිණෙනවා.

උදය III රජුගෙන් පසු රජ වෙන්නේ ඔහුගේ යුවරජ සේන IV (ක්‍රි. ව. 972 - 975). ඔහුගේ කෙටි රාජ්‍ය කාලයෙන් පසුව රජකම ඔහුගේ සොහොයුරු මහින්ද  IV (ක්‍රි. ව. 975 - 991) ට හිමි වෙනවා. මේ මහින්ද රජතුමා අගමෙහෙසිය හැටියට පාවා ගන්නේ කාලිංග කුමරියක්. ඇයට පුතුන් දෙදෙනෙක් සහ දුවක් ලැබෙනවා. මේ කාලයේදී චෝල රජෙක් වන වල්ලභ විසින් ලංකාවට හමුදාවක් එව්වත් ඔවුන් පරාජය කරන්න රජුගේ සේනාවට හැකි වෙනවා. හතරවන මිහිඳු රජතුමා මියයන විට කාලිංග බිසවගෙන් ලද පුත්‍රයාගේ වයස අවු. 12 ක් වුවත් රජකම ලැබෙන්නේ ඔහුට. ඔහු සේන V නමින් රජ වෙනවා (ක්‍රි. ව. 991 - 1001). මේ ළමා රජතුමා හැසිරෙන්නේ ඉතාමත් නොමනා ආකාරයට. රජකම් කිරීමට තරම් හැකියාවක් බුද්ධිය මෝරා නැති මේ කුඩා ළමයාට නොතිබුනා වගේම ඔහුගේ ඔහුගේ ක්‍රියා කලාපයත් හොඳ උනේ නැහැ. මේ නිසා මහින්ද රජුගේ ප්‍රධාන සෙනෙවියා මොහුට විරුද්ධ වෙනවා. රජු විසින් සෙනෙවි ගේ තනතුර වෙන කෙනෙක්ට පිරිනැමීමත් එයට එක හේතුවක් උනා. සෙනෙවියාට පරාද වෙන රජතුමා දකුණු දේශයට පලා ගියත් ඔහුගේ මව ඉතුරු දරුවන් දෙදෙනාත් සමග අග නුවර රැඳෙමින් රටේ පාලනය කටයුතු කරගෙන යනවා. මේ අතර සෙනෙවියා ඔහුගේ ද්‍රවිඩ භටයින්ට අනුරාධපුරය බාර දී පොළොන්නරුවේ වාසයට යාම නිසා ද්‍රවිඩයින් හිතේ හැටියට සිංහලයින්ට හිංසා පීඩා කරන්න පටන් ගන්නවා. මේ අවුල් සහගත තත්වය නිසා රුහුණට පලාගිය සේන රජතුමා නැවතත් සාකච්චා මාර්ගයෙන් සෙනෙවි සමග මිතුරු වී අගනුවරට පැමිණෙනවා. සෙනෙවිගේ දියණිය රජුට පාවා දීමත් සිදු වෙනවා.

පස්වන සේන රජතුමාගෙන් පසු රජ වෙන්නේ ඔහුගේ බාල සොහොයුරු පස්වන මිහිඳු (ක්‍රි. ව. 1001 - 1017). මොහු ඉතාමත් දුර්වල පාලකයෙක් උන නිසා පාලන කටයුතු හරිහැටි කර ගැනීමත් ඔහුට අපහසු උනා. මිනිසුන් බදු ගෙවීම ප්‍රතික්ෂේප කළ බැවින් භාණ්ඩාගාරය හිස් වී හමුදා භටයින්ට පඩි ගෙවා ගැනීමටත් නොහැකි අවස්ථාවකට ආවා. මෙවිට කේරළ භටයින් මාළිගාව වටලා කැරලි ගැසීම නිසා රහසේම රුහුණට පලා යාමට රජුට සිදු උනා. මේ අතර අගනුවර පාලනය ද්‍රවිඩ භටයින් සහ වෙනත් අය අතින් හිතු මනාපයට සිදු වුන නිසා රට ඉතාමත් අවුල් සහගත තත්වයකට පත් වුනා. කෘෂි කර්මාන්තය, වාරි කර්මාන්තය, මේ හැම දෙයක්ම බිඳ වැටුනා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ කල දුටු කල වල ඉහ ගැනීමට බලා සිටි චෝලයින්. රාජ රාජ නම් චෝල රජ, ඔහුගේ පුත් රාජේන්ද්‍ර ප්‍රමුඛ සේනාවක් ලංකාවට එවන්නේ ලංකාව යටත් කර ගැනීමේ අදහසින්. මේ සේනාව ලංකාවට ගොඩ බැසි මොහොතේ පටන්ම ගම් දානව ගිනි තියමින් විශාල සංහාරයක් කරමින් අග නුවරට ඇතුල් උනා ලු. දප්පුලV රාජ්‍ය සමයේ පඬි රජු මෙහි තබා ගිය රාජ්‍ය ආභරණත් පැහැර ගත්තා කියලා සඳහන් වෙනවා. ඒ වගේම පස්වන මිහිඳු රජතුමාත් චෝල දේශයට අල්ලාගෙන ගියාලු. ඔහුගේ මරණය සිදු වෙලා තියෙන්නේ එහිදී. එහත් රජතුමාගේ පුත්‍රයෙක් රුහුණු වැසියන් විසින් සඟවා ගෙන ආරක්ෂා කළ බවත් කියවෙනවා.

ඉතින් අනුරපුර යුගයේ අවසාන සිද්ධ වෙන්නේ මෙවැනි අවාසනාවන්ත ආකාරයකට. දිවයිනේ වැඩි කොටසක් චෝල බලයට නතු වීම නිසා සිංහල ජනතාව එයින් පීඩා විඳිනවා. රටේ තවත් අඳුරු යුගයක් මේ ආකාරයට ආරම්භ වෙනවා.
Posted by Unknown On 07:35


පසු ගිය ලිපියෙන් අපි කතා කරේ ක්‍රි. පූ. 205 න් පසු කාලයේ ලක් දිව ඇති වෙලා තිබුණ දේශපාලනික තත්ත්වය ගැන. ඒ කාලය වෙද්දී අනුරපුර බලය අල්ලා ගෙන තිබුණේ චෝල ජාතිකයෙක් වුනු "එළාර". ඔහු ක්‍රි. පූ 205 දී අසේල රජු මරා බලය පැහැර ගෙන ක්‍රි. පූ 165 (බු. ව. 379) වන තුරු අවු. 40 ක් රාජ්‍ය කරනවා.


මේ අතර මාගම රජ කලේ "කාවන්තිස්ස" රජු බවත් කැලණියේ රජ කලේ "කැලණිතිස්ස" රජු බවත් අපි කිව්වා නේ. ඉතින් මේ කැළණිතිස්ස රජතුමා අතින් ඒ දවස්වල ලොකු පාප කර්මයක් වෙලා තියනවා. ඒ තමයි රහතන් වහන්සේ කෙනෙක් මරා මුහුදට දැමීම. මේ නුනුවණ ක්‍රියාවට හේතුව රජ බිසවගේත් රජුගේ සොහොයුරා (අරිය උත්තිය) ගේත් පෙම් පලහිලව්වුක් කියලයි කියන්නේ. අරිය උත්තිය, බිසවට ලියුමක් යැවීම සඳහා මහණ වෙස් ගත් මිනිසෙක් යොදා ගෙන තියනවා. ඔහු අනෙක් රහතන් වහන්සේලාත් එක්කම දානය වෙලාවේ රජ මැදුරට ඇතුළු වෙලා අර ලියුම දේවියට පේන විදියට බිම දැම්මලු. ඒත් ඒක රජුගේ ඇසට අහු වෙලා. ලියුම වැටිලා තියෙන්නේ කිසිම වරදක් නොකරපු සිල්වත් රහතන් වහන්සේ කෙනෙක් ආසන්නයෙන්. ඉතින් රජතුමා වරදවා වටහා ගත්තලු ලියුම මේ රහතන් වහන්සේ ලියපු එකක් කියලා. ඒ නිසා තමයි අර වගේ ක්‍රියා මාර්ගයක් අරගෙන තියෙන්නේ. මේ කතාව හරිද කියලා මම හරියටම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් නිවැරදි කරන්න.



ඉතින්  අපිට ඉතිහාසයේ අහන්න ලැබෙන දෙවන සුනාමිය ඇති වුනේ රජු ගේ මේ පාප කර්මය නිසා ලු. එවෙලේ ඇති වුනු මුහුද ගොඩ ගැලීම නවත්වන්න නම් රජ පවුලේ කෙනෙක් මුහුදට බිලි විය යුතු බව දයිවඥයන් කියා සිටියාම ඒ සඳහා එඩිතරව ඉදිරිපත් වුනේ රජුගේ දුවණිය වූ  "දේවී කුමරිය / විහාරමහා දේවිය". රට බේරා ගැනීම ට මුහුදට බිලි වුන දේවී කුමරිය රැගත් පුංචි ඔරුව පාවී ගොස් අවසානයේ සේන්දු වුනේ "කිරින්ද" වෙරළ ට. මේ රාජකීය ඔරුව ගැන මිනිස්සු දැනුම් දුන්නේ මාගම රජ කළ කාවන්තිස්ස රජතුමා ට. ඉතින් විහාරමහා දේවිය හරසරින් පිළිගත් රජතුමා ඇය තමන්ගේ බිසව කර ගන්න පසුබට උනේ නැහැ.




මේ රාජකීය විවාහයේ ප්‍රතිඵලයක් විදියට තමයි "ගැමුණු / ගාමිණි අභය" කුමාරයා සහ "සද්ධා තිස්ස" කුමාරයා මෙලොව එලිය දකින්නේ. ගැමුණු කුමාරයා ලැබෙන්න ඉඳිද්දී විහාරමහා දේවිය ට අපූරු දොළ දුකකුත් පහළ වෙලා තියනවා. එළාර රජුගේ අග්‍ර සෙන්පතියාගේ හිස සිඳ ඒ සඳහා පාවිච්චි කළ කඩුව සේදූ ජලය එම හිස මත සිට පානය කිරීමටත් ඒ අවස්තාවේදී අනුරාධපුරයෙන් ගෙනා පර නොවූ නෙළුම් මල් වලින් තැනූ මාලයක් පැළඳීමටත් ය. මේ දොළ සම්පුර්ණ කරන්න කැප වුනේ "වේළුසුමන" යෝධයා ලු. දමිළ සෙන්පතියා ට බොරළු මගක් දිගේ තමා ලුහු බැඳ ඒමට සළස්වා දුහුවිලි ඇවිස්සුණු පාර අයිනේ නැවතී සිට සෙන්පතියාගේ ගෙලට කඩුව අල්වා ගෙල සිඳ ඔහුගේ හිසත්, කඩුවත් නෙළුම් මලුත් රැගෙන හවස් වන විට මාගම ට පැමිණියා ලු.



ඉතින් මේ ගැමුණු කුමාරයා එසේ මෙසේ කෙනෙක් නොවන බව ඔය වගේ සිද්ධි වලින් පැහැදිළිව පෙනුනා. කුමාරයා ට අවු. 12 දී කාවන්තිස්ස රජතුමා දරුවන් දෙන්නාගෙන් පොරොන්දු 3 ක් වෙන්න කියලා ඉල්ලලා තියනවා. බත් ගුලි තුනක් සාදා "බුදු දහමට හෝ සංඝයා ට පිටු නොපාන බව " ට දිවුරා පළමු බත් ගුලිය බෙදා ගෙන කන ලෙසත් "දෙසොහොයුරන් අතර කිසි දින ගැටුමක් ඇති කර නොගන්නා බව" ට දිවුරා දෙවන බත් ගුලිය කන ලෙසත් ඉල්ලූ විට කුමාරවරු දෙදෙනා ම එය පිළිපැද්දා ලු. තුන් වන බත් ගුලිය සඳහා කළ ඉල්ලීම, එනම් "දමිළ රජු සමග සටන් නොවදින බව" පිළි ගන්න ගැමුණු කුමාරයා එකඟ වෙලා නැහැ. ඔහු බත් ගුලිය කෑම පසෙක තබා ඇඳට ගොස් වකුටු වී නිදන්න පටන් ගත්තා ලු. වකුටු වෙලා නිදන්නේ ඇයි දැයි විහාරමහා දේවිය විමසද්දී ඒකට දීලා තියෙන්නේ ලස්සන පිළිතුරක්...



"උතුරින් හැඩි දෙමළුත්...දකුණින් ගොළු මුහුදත් ඇති විට කොහොමනම් අත පය දිග හැර නිදා ගන්නද?"



ඔය විදිහේ ජාතික ආලයක්‌ ඇතුව ඇති දැඩි උන ගැමුණු කුමාරයා ට අවු. 16 වන විටම උවමනා උනේ එළාර සමග සටන් වදින්න. මේ අදහසට කාවන්තිස්ස රජතුමා අකමැති වීම නිසා හැම විටම පිය පුතු මතභේද ඇති උනාලු. අන්තිමේදී කුමාරයා නිවස අත හැර කොත්මලේ ප්‍රදේශය ට පැන ගියා ලු. ගෙදරින් පිට වෙසෙන කාලයේදීත් පියාට අපහාස කිරීම ට ගැහැණු ආභරණ යැවීම වැනි දේ කළ ගැමුණු කුමාරයා මේ හේතු නිසාම දුෂ්ට ගාමිණි හෙවත් දුටුගැමුණු ලෙස හැඳින්වුවා ලු. මොන තරම් අපහාස වින්දත් කාවන්තිස්ස රජතුමා ත් නිකන් හිටියේ නැහැ. අනාගතයේ දි තම පුත්‍රයා කරන්න යන යුද්ධය සඳහා සේනා සංවිධානය ත් රටේ ආර්ථික ස්ථාවර බව තහවුරු කිරීමත් ඔහු කරගෙන ගියේ ඉතාමත් නුවණැති විදියට.



මේ නිසා යුද්ධය ඇරඹෙන කාලය වන විට ගැමුණු කුමරුට ඉතා‍මත් ශක්තිමත් සේනාවක් ලැබී තිබුණා. මෙයට  කණ්ඩුල ඇතු සහ දස මහා යෝධයින් (නන්දිමිත්‍ර, ඝෝඨයිම්බර, වේළුසුමන, සුරනිමල, ලභිය වසභ, මහාසෝන, ථෙරපුත්තාභය, කඥචදේව, පුස්සදේව, මහාභරණ) ද ඇතුලත්. සංඝ රත්නයේ ආශිර්වාද සහ විහාරමහා දේවිය ගේ මග පෙන්වීම ඇතුව ආරම්භ කළ සටන අවසාන වෙන්නේ සිංහලද්වීපයේ පින් බිම වූ අනුරපුර රාජධානිය දශක 4 ක් දමිළයන් බාරයේ තබා ගැනීමට කටයුතු කළ එළාර රජුගේ මරණයෙන්. මේ ජයග්‍රහණයෙන් පසුව මුළු රට ම එක්සේසත් කළ රජු ලෙස අභිෂේක ලබන්නේ දුටුගැමුණු රජතුමා - ක්‍රි. පූ. 161 - 137 (බු. ව. 383 - 407).




යුධ ජයග්‍රහණයෙන් පස්සේ එතනින් නොනැවතුණු දුටුගැමුණු රජතුමා බුදු දහමේ උන්නතිය සඳහා  කටයුතු කළ අතර ලෝවාමහාපාය, රුවන් වැලි සෑය, මිරිස වැටිය වැනි අගනා නිර්මාණ ද කරවිය (රුවන්වැලි සෑයේ වැඩ නිම වීමට ප්‍රථම දුටුගැමුණු රජතුමා මිය ගිය අතර සද්ධා තිස්ස විසින් සුදු රෙදි ඇද සෑයේ වැඩ නිම වූ ආකාරයෙන් දුටුගැමුණු රජුට සෑය ප්‍රදර්ශනය කර ඇත).



ඉතින් ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියවුනු පරිච්චේදයක් මෙලෙස නිමා වෙද්දී ඉතිහාස ගත පෙම් පුවතක් සමගින් මී ළඟ රාජාවලිය ලිපියෙන් මුණ ගැහෙමු :)
Posted by Unknown On 07:33






වළගම්බා රජතුමා ක්‍රි. පූ. 103 දී සිංහාසනාරූඨ  උනත් එතුමාට රාජ්‍ය කරන්න ලැබෙන්නේ මාස 5 ක් වැනි කෙටි කාලයක් පමණයි. සතුරු කරදර රාශියකට මුහුණ දෙන්න එතුමා ට සිද්ද වෙනවා. රෝහණ දේශයේ "තිස්ස (තීය)" නම් බමුණෙක් රාජ්‍ය ඉල්ලා රජු ට විරුද්ධව කැරලි ගහන අතරෙදි මහාතිත්ථ වරායෙන් ලංකාවට ගොඩ බහිනවා ද්‍රවිඩයින් සත් දෙනෙක් සහ ඔවුන්ගේ සේනාව. මේ ද්‍රවිඩයින් ගේ අපේක්ෂාව උනෙත් රාජ්‍ය අල්ලා ගැනීම ම තමයි. මේ විදියට දෙපැත්තකින් සතුරු කරදර ආවම රජතුමාත් පොඩි නුවණැති ක්‍රියාවක් කරල තියනවා. රජතුමා තීය බමුණාට මෙන්න මේ විදියේ පණිවිඩයක් යැව්වලු.


"දැන්නම් රාජ්‍ය නුඹගේ ය, නුඹ දෙමළුන් හා සටන් කොට රාජ්‍ය ගනුව

ඉතින් මේ පණිවිඩය දැකපු මෝඩ බමුණා දෙමළුන් සමග සටනට ගිහින් පැරදුනා ලු. ඒ සටනෙන් ජයග්‍රහණය කරපු දෙමළු හත් දෙනා ඉන්පස්සේ වළගම්බා රජු සමග සටනට ගියා ලු. කොලොම්භාලක නම් ස්ථානයේදී ද්‍රවිඩයින් හා කළ සටනින් පැරදුනු රජු, ද්‍රවිඩයින්ගෙන් බේරීමට රථයක නැගී පලා ගියා ලු. ද්‍රවිඩයින් විසින් ලුහුබැඳපු මේ රථය, තීර්ථකාරාමය පසු කර යද්දී එතන ඉඳපු "ගිරි" නම් නිඝන්ඨයෙක්,

"මහා කළු සිංහලයා පලා යනවෝ" යැයි උපහාසයෙන් ඝෝෂා කරා ලු. 

 මේ රථය ඇතුලේ ඉඳපු අනිත් සාමාජිකයින් තමයි, සෝමා දේවිය, ඇගේ පුත් නාග කුමරු, අනුලා දේවිය සහ ඇගේත් ඛල්ලාටනාග ගේත් පුත් මහාචූලී මහාතිස්ස. ඉතින් මේ පිරිසේ බර වැඩි උන හින්දා රථය ට වැඩි වේගයකින් ගමන් කරන්න අපහසු තත්ත්වයක් ආවා ලු. සතුරන් ලඟ ලඟම ලුහු බැඳගෙන එන නිසාත්,  කිරීමට වෙනත් පිලියමක් නොතිබුණු නිසාත් මේ වෙලාවේදී "සෝමා දේවිය" උදාර තීරණයක්‌ ගන්නවා. ඒ තමයි තමන් කරත්තයෙන් බැහැලා රජු ඇතුළු පිරිසට පළා යාමට ඉඩ සැලැස්වීම. අන්තිමේදී මේ තීරණයට එකඟ උන රජතුමා දේවිය ට බිමට බැසීමට සළස්වා සතුරන්ගෙන් බේරී පළා යනවා. සෝමා දේවිය අල්ලා ගත් එක් ද්‍රවිඩයෙක් ඇය ඉන්දියාවට රැගෙන ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතුරු ද්‍රවිඩයන් 6 දෙනාගෙන් තවත් කෙනෙක් බුදුන් දන් වැළඳු පාත්‍ර ධාතුව රැගෙන ඉන්දියාවට පළා ගියා ලු.

ඔන්න ඔය විදියට ලංකාවේ නැවතුනේ ද්‍රවිඩයින් පස් දෙනෙක් පමණයි. එයින් මුලින්ම රජ කරන්නේ "පුලහත්ථ" (ක්‍රි. පූ 103 - 100). ඉන්පසු "බාහිය" නම් ද්‍රවිඩයා පුලහත්ථ මරා අවු. 2 ක් රජ කරනවා (ක්‍රි. පූ. 98 දක්වා). ඉන්පසු බාහිය මරා රජ වෙන්නේ "පණයමාර" නම් ද්‍රවිඩයා යි (ක්‍රි. පූ. 98 - 91). පණයමාර මරා දමා "පිලියමාර" රජ උනත් ඔහුට රජ කරන්න ලැබෙන්නේ මාස 7 ක් පමණ කාලයක් විතරයි. ඒ, අවසාන ද්‍රවිඩයා වන "දාඨික" ගෙන් ඔහු මැරුම් කන නිසා. ඉන් පස්සේ දාඨික අවු. 2 ක් (ක්‍රි. ව. 89 තෙක්) රජ කරනවා. 

මේ විදියට ද්‍රවිඩයින් පස් දෙනා එකිනෙකා මරා ගන්න අතරේ අපි බලමු අපේ වළගම්බා රජතුමා මොකද කළේ කියලා. රජු ඇතුළු පවුල පළා ගොස් වෙස්සගිරි වනයේ සැඟවී සිටිද්දී "කුපික්කලතිස්ස" නම් තෙර නමක් ඔවුන් පිණ්ඩපාතයෙන් පෝෂණය කළා ලු. රජ පවුල ට මුහුණ දෙන්න සිද්ද උනේ ඉතාමත් දුෂ්කර කාල පරිච්චේදයකට. ඒ කාලයේ ඇති වුන "බැමිණිතියාසාය" නම් දරුණු දුර්භික්ෂයක් නිසා රහතන් වහන්සේලා පවා විශාල ගණනක් අපවත් උනා ලු. ද්‍රවිඩයින් ගේ පාලන කාලයේදී වැව් අමුණු හරියාකාරව නඩත්තු නොකිරීම, ආක්‍රමණ අතරතුර වාරිමාර්ග විනාශ වීම වැනි පාලන අක්‍රමිකතා ත් නියඟය ට හේතුවක් වෙන්න ඇති. මේ නියඟය ට නම ලැබුන හැටි ගැනත් මතයක් තියනවා. තීය බමුණා කැරළි ඇති කළ සමයේ ආරම්භ උන නිසා "බමුණු+තීය+සාය" යන්න සන්ධි වී බැමිණිතියාසාය යන නම ලැබුනා ලු. 

වෙස්සගිරියෙන් නික්මුණු රජ පවුල මී ළඟට පිවිස ඇත්තේ මාතුවේලංග ප්‍රදේශයට. එහිදී ඔවුන්ට නැවතත් හමු වුනු කුපික්කලතිස්ස තෙරණුවෝ ඔවුන්ව "තනසීව" නම් ප්‍රාදේශීය පාලකයෙකු ට හඳුන්වා දී ඇත. ඉන්පසු රජ පවුල ඔහු ඇසුරේ වෙසෙන අතර තනසීව ගේ බිරිඳත් අනුලා දේවියත් අතර ඇති වුන සුළු රණ්ඩුවක් නිසා රජතුමා තනසීව මරා දමනවා. ඒ සිද්ධිය නිසා තමා කවුදැයි ප්‍රදේශ වාසීන්ට හෙළි කරන්න රජතුමා ට සිදු වෙනවා. 


 වළගම්බා රජතුමා සැඟවී සිටි අවුරුදු 14 ක කාලය තුල එතුමා රටේ ඇවිදපු නැති තැනක් නැති තරම්. මේ කාලයේදී රහසේම සේනා සංවිධානය කරන්නත් එතුමා වග බලා ගන්නවා. ඒ කාර්යයට ත් එතුමා ට නොසෑහෙන්න උදව් කළ කෙනෙක් තමයි කුපික්කලතිස්ස තෙරණුවෝ. ඉතින් අවුරුදු 14 කට පසුව අවසාන ද්‍රවිඩයා වූ දාඨික පරාජය කරන රජතුමා නැවත සිංහල රාජාවලිය හරි මග ට ගෙන අවුරුදු 12 ක් රජ කම් කරනවා ක්‍රි. පූ. 89 - 77 (බු. ව. 455 - 467). ද්‍රවිඩයින් ගෙන් පළා යද්දී තමා ට අපහාස කළ "ගිරි" නිඝන්යා ගේ ආරාමය බිඳවා එතැන "අභයගිරි" ආරාමය කරවා තමාට උදව් කළ කුපික්කලතිස්ස තෙරණුවන් ට පූජා කරන්න රජතුමා කටයුතු කරනවා. රජුගේත් නිඝන්යා ගේත් නම් එකතු කොට ආරාමය ට නම් තැබූ බවයි කියවෙන්නේ. පසුව විනය චෝදනා මත මහා විහාරයෙන් මහාතිස්ස නම් හිමියන් නෙරපූ කල ඔහුගේ ගෝලයෙකු වන "බහලමස්සුතිස්ස" සහ තවත් 500 ක් තෙරුන් අභයගිරිය ට පැමිණීම නිසා බොදු ඉතිහාසයේ ප්‍රථම නිකාය භේදය ඇති වුන බව කියවෙනවා. 

සොලී රටට අල්ලා ගෙන ගිය සෝමා දේවිය නැවත ගෙන්වා ගන්න කටයුතු කරන රජතුමා ඇගේ නිර්භීත හා උදාර භාවය ට ගෞරවයක් වශයෙන් සෝමාරාමය කරවනවා.  රජතුමා ගේ අනුග්‍රහයෙන් සිදු වන තවත් වැදගත් ක්‍රියාවක් තමයි එතෙක් කල් කට පාඩමින් ගෙන ආ ත්‍රිපිටකය මාතලේ අළු විහාරයේදී ග්‍රන්ථාරූඨ කරවීම.  
Posted by Unknown On 07:31

අනුරාධපුර රාජධානියේ අවසානය සිද්ධ උනේ ඉතාමත් ශෝචනීය විදියට බව කට්ටිය කලින් ලිපියේ දකින්න ඇති. පස්වන මිහිඳු රජතුමා සිරකරුවෙක් විදිහට චෝල දේශයට අල්ලාගෙන ගියා. අපේ දිවයින චෝල පාලනයට නතු උනා. දිවයින කිව්වට මුළු දිවයිනම නෙමෙයි. කවදත් රට ජාතිය වෙනුවෙන් නැගී හිටි රුහුණ මෙදා පාරත් චෝල පාලනයට එරෙහිව ස්වාධීනව නැගී සිටින්න උත්සාහ කරා. රුහුණට ඇතුළු වීමට උත්සාහ කළ චෝලයින්ට දේශ සිමාවේ සිට ඔවුන් පසු බසින තුරු පහර දුන්නා. චෝලයින්ට බදු ගෙවීම ප්‍රතික්ෂේප කරමින් බදු එකතු කිරීමට පැමිණි සිංහල නිලධාරීන්ට අවඥාවෙන් සළකපු රුහුණු ජනතාව එයින් නොනැවතී තවත් මහඟු කාර්යයක් රහසේම කරගෙන යමින් සිටියා. ඒ, තවමත් ළමා වියේ පසු වූ පස්වන මිහිඳු රජුගේ පුත්‍රයා ආරක්ෂා කර ගැනීම.

තමන්ගේම රජෙකුගේ අවශ්‍යතාවය දුටු ඔවුන් මේ කුමාරයාව රජ කමට පත් කරනවා. ඔහු රජ වෙන්නේ "වික්‍රම බාහු" නමින්. මේ පුවත අසා කුපිත වෙන චෝලයින් රුහුණට කඩා වැදී ගම් දනව් වනසද්දී සිංහලයින් ඊට එරෙහිව සටන් අරඹනවා. "කීර්තී" සහ "බුද්ධ" නම් සෙන්පතියන් දෙදෙනෙකු අතින් මෙහෙයවෙන සිංහල හමුදාවට  නිර්භීතව සටන ජයග්‍රහණය කිරීමට හැකි වෙනවා. යුධමය අතින් රුහුණ ශක්තිමත් වන ආකාරය දුටු චෝලයින් තවත් චෝල හමුදා ලංකාවට ගෙන්වීමට කටයුතු කරනවා.

රුහුණ ශක්තිමත් වීමෙන් ඇතිවෙන නරක ප්‍රතිඵලයක් තමයි ප්‍රාදේශීය නායකයින් බිහි වීම. ඔවුන් එකිනෙකා පරයා බලය ලබා ගැනීමට තැත් කළ නිසා රුහුණේ ඇති වෙන්නේ අස්ථාවර තත්වයක්. ඒ නිසා චෝලයින් නැවතත් රුහුණට පහර දීමට එය අවස්ථාවක් කර ගන්නවා. මේ චෝල සේනාවට මුහුණ දීමට වික්‍රමබාහු රජු සේනා සංවිධානය කළත් පහර දීමට පෙරම අසනීපයක් හේතුවෙන් ඔහු මිය යනවා.  මේ කාලයේදීම  චෝල දේශයේ සිරකරුවෙකුව සිටි මිහිඳු රජතුමාත් එහිදීම මිය යනවා.

වික්‍රමබාහු ගේ මරණින් පස්සේ කිර්ති සෙනෙවියා පාලන කටයුතු භාර ගත්තත් ඔහුට දවස් 8 කට වඩා ජිවත් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ "මහාලන කීර්ති" නම් තවත් සෙනෙවියෙක් ඔහු මරා බලය ලබා ගන්නා නිසා. මහාලාන කිර්ති නිර්භීත වගේම රණකාමී පාලකයෙක් උනා. චෝලයින්ගෙන් නැවතත් ඇති වුනු ප්‍රහාර හමුවේ ඉතා නිර්භීතව සටන් කොට, එයින් පරාජය අත් වන බව දැක, සිය දිවි හානි කර ගන්නවා. ඔහුගෙන් පසුව බලයට එන්නේ "වික්‍රම පණ්ඩු" නම් කුමාරයා. ඔහු මහාලාන කිර්තිගේ පුතෙක් බවටත් පිළිගැනීමක් තියනවා. කොහොම උනත් මේ කුමරුවා නිසා චෝලයින්ගේ හිරිහැරයට ලක් වෙමින් තිබුණු රුහුණ නැවතත් සංවිධානය වී සාමාන්‍ය තත්ත්වයට පැමිණෙනවා.

ඔය අතරෙදි ඔවුන්ට නැවතත් සතුරු කරදරයක් එල්ල වෙනවා. ඒ චෝලයින්ගෙන් නෙමෙයි, අයෝධ්‍යාවෙන්. අයෝධ්‍යා සේනාවේ නායක "ජගතිපාල" අතින් මරණයට පත් වීමට වික්‍රම පණ්ඩු ට සිද්ධ වෙනවා. සිංහල ජනතාවගේ අකමැත්ත නොතකා ජගතිපාල දකුණේ පාලන කටයුතු අතට අරගෙන එය හොඳින් කරගෙන යාමට උත්සාහ කරන අතරේ චෝලයින් ජගතිපාල එලවා ගැනීමට මාන බලනවා. ඒ නිසා නැවතත් ප්‍රහාරයක් දියත් කරන චෝලයින් ජගතිපාලව පරාජය කිරීමට සමත් වෙනවා. ඉන්පස්සේ වික්‍රමපණ්ඩු ගේ පුත්‍රයා "පරාක්‍රම පණ්ඩු" පාලනය අතට ගත්තත් ඔහුත් අවු. 2 කට පස්සේ චෝලයින්ගෙන් මැරුම් කනවා.

ඔහොම කාලය ගත වෙද්දි මිනිස්සු අතර කසුකුසුවක් පැතිරෙනවා රාජ පරම්පරාවට සෘජුවම සම්බන්ධ කමක් ඇති කුමාරයෙක් ගැන. ඒ තමයි "කීර්ති" කුමාරයා. ඔහු පස්වන මිහිඳු රජුගේ මාමා කෙනෙකුගෙන් පැවතෙන අයෙක්. මේ කුමාරයා කුඩා කල පටන්ම පැරණි රජවරුන්ගේ වීර කතා තම මවගෙන් අසා ගැනීමට ඇලුම් කළා වගේම තමන්ගේ රට පරදේසක්කාරයින් අතින් පාලනය වීම ගැන බලවත් අකමැත්තකින් පසු වුනා. තමාට අවුරුදු 15 වන විට මලය රටට ගොස් සේනා සංවිධානය කිරීම ආරම්භ කළ කීර්ති කුමාරයා සෙබළුන්ට මනා පුහුණුවක් ලබා දීමටත් කටයුතු කළා.

මේ අතර "ලෝකේශ්වර" නම් නිර්භීත, තද ගතිගුණ ඇති සෙනෙවියෙක් කතරගම ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලනයක් ගෙන ගියා. චෝලයින් පවා ඔහුට එරෙහි වීමට බිය වූ නිසා ඔහු මිය යන තුරුම චෝලයින්ගෙන් හිරිහැර එල්ල උනේ නැහැ. මේ ලෝකේශ්වරගේ බොහොම කුළුපග ඇමතියෙක් තමයි බුද්ධරාජ ඇමති. ලෝකේශ්වර සමග ඇති වුන අමනාප කමක් නිසා සියලු තනතුරු අතහැර පලා යන බුද්ධරාජ ඇමැතිත් මලය රටට ගොස් කීර්ති කුමාරයාට එකතු වෙනවා. මේ බුද්ධරාජ ඇමති වගේම කිර්ති කුමාරයාට බොහොම උදව් කළ තවත් කෙනෙක් තමයි දේවමල්ල ඇමති. කිර්ති කුමාරයා සේනාවෙන් සහ බලයෙන් පොහොසත් වන හැටි බලා සිටිමටම අපහසු වූ ලෝකේශ්වර කුමරු සමග සටනට එන්නේ මේ අතරවාරයේ දී. වතාවක් නොවෙයි දෙවතාවක්ම සටන් මෙහෙයෙව්වත් ලෝකෙශ්වරට අයිති වෙන්නේ පරාජයක්. ඒ වගේම මලය රටේ පාලනය සම්පුර්ණයෙන්ම කිර්ති කුමාරයාට නතු වෙනවා.

කීර්ති කුමාරයාගේ මීළඟ ඉලක්කය උනේ රුහුණ සහ මලය රට එක්සේසත් කිරීම. චෝලයින් එළවීමට පෙර රටේ අනෙක් ප්‍රදේශ එකට එකතු විය යුතු බව ඔහුට වැටහුනා. ඒ  විතරක් නෙමෙයි, කුමරුගේ ඉලක්කය රුහුණ බව ලොකේශ්වරටත් වැටහුණා. ඉතින් ඔහු කරන්නේ නැවතත් කුමරු සමග සටනට යාම. ගම් බිම් විනාශ කරමින් සටනට පැමිණි ලෝකේශ්වරගේ ක්‍රියාකලාපය ගැන බෙහෙවින් උරණ වූ කීර්ති කුමරු ඉතාමත් දරුණු සටනකින් අනතුරුව නැවතත් ලෝකේශ්වර පරාජය කරනවා. මේ පරාජය නිසා සිත් තැවුලෙන් නැවතත් කතරගමට ගිය ලෝකේශ්වර ක්‍රි. ව. 1054 දී අසනීප වී මිය යනවා.

ඔහුගෙන් පසුව එහි පාලනය බලය ලබා ගන්නේ "කේසධාන කාශ්‍යප" නම් අයෙක්. ඔහු ලෝකේශ්වර තරම්ම තද පාලකයෙක් නොවුනත් එතරම්ම ජන ප්‍රසාදයට ලක් වූ පාලකයෙකුත් නෙවෙයි. ඔහුගේ අභිලාශය වුනෙත් චෝලයින් පලවා හැරීම. ඔය අතරේ චෝලයින්ගෙන් රුහුණට එල්ල වෙන ප්‍රහාරයක් සාර්ථකව මැඩපැවැත්වීම නිසා ඔහුට යම් ජනතා ප්‍රසාදයකුත් ලැබෙනවා. ඒත් කීර්ති කුමාරයාගේ අරමුණට මේක බාධාවක්. රුහුණ යටත් කරගැනීම හැර වෙන මගක් නැති බව දකින ඔහු සේනාවත් සමග රුහුණ යටත් කර ගැනීමට පැමිණෙනවා.

කුමාරයාගේ එක ප්‍රතිපත්තියක් උනේ සටන් වලදී සාමාන්‍ය ජනයාට සහ දේපල වලට වන හානිය හැකි තරම් අවම කිරීම. මේ ආකාරයට රුහුණට ඇතුල් වෙන කුමාරයාට රුහුණු ජනයාගේ සහය නොමදව ලැබෙනවා. රජ කමට නිත්‍යානුකුල අයිතියක් තිබූ කීර්ති කුමරුට ඔවුන් වඩා කැමති උනා. ඒ වගේම මිනිසුන් ආකර්ෂණය වන ආකාරයේ හොඳ ගති ගුණත් ඔහුට තිබුණා. මේ නිසා බයට පත්වෙන කේසධාන, උපක්‍රමශීලිව කතරගමින් පහු බැහැලා පසුව එක්වරම ප්‍රහාරයක් එල්ල කරනවා. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ කුමරු අතින් කේසධාන මරණයට පත් වීම. මේ සමගම රුහුණේ පාලනයත් කීර්ති කුමරු යටතට එනවා. පසුව කුමාරයා හැඳින්වෙන්නේ "විජයබාහු" නමින්.

මේ සිද්ධි දැනගත් චෝලයින් නැවතත් සන්ත්‍රාසයට පත් වී රුහුණට ශක්තිමත් සේනාවක් එවනවා. තමන්ට එකවරම චෝලයින් පැරදවිය නොහැකි බව දුටු විජයබාහු, නුවණැති තීරණයක් ගන්නවා තාවකාලිකව මලය රටට පසු බැසීමට. ඒ වගේම චෝලයින් පලවා හැරීම සඳහා විදේශ ආධාර ලබා ගැනීම සඳහා බුරුමයේ අනවරත රජු වෙතට දූතයින් යවනවා. සාර්ථක දූත ගමනකින් පසු එරටින් සේනාවක් වගේම සෙබළුන්ගේ වියදමට වස්තුවත් ලැබෙනවා.

එයින් පස්සේ තමයි චෝල දේශයන් විශාල සේනාවක් ලංකාවට එවන්නේ. ලංකාවට ගොඩ බසින ඔවුන් පොලොන්නරුව දක්වා යන ගමනේදී මිනිසුන්, දේපල විනාශ කරමින් හැසිරෙන්නේ ඉතා තුච්ඡ විදියට. රජරට අනෙක් චෝලයින් සමග එක්වන ඔවුන්ගේ මී ළඟ අභිප්‍රාය වන්නේ රුහුණ ආක්‍රමණය. මේ අතරේ විජයබාහු රජතුමා ළඟ සිටි රවී සහ චාලා සෙන්පතියන් දෙදෙනෙක් රජුට ද්‍රෝහී වී චෝලයින්ට එක් වෙනවා. ඔවුන්ගේ උදව් ඇතිව  චෝලයින් රුහුණට කඩා වැදී රුහුණ විනාශ කරනවා. එහෙත් මලය දේශයේ සිටි විජයබාහු රජු අල්ලාගැනීමට හැකි වන්නේ නැහැ. විජයබාහු රජු පාලටුපහන නම් ස්ථානයේ කඳවුරු ගසාගෙන සිටින බව සැල වී ද්‍රෝහී සෙන්පතියන් විසින් එය චෝලයින්ට දැනුම් දෙනවා. එය ඇසූ චෝලයින් වහාම පලටුපහන බලා පිටත් වෙනවා.
එහිදී ඇවිලෙන්නේ ඉතාමත් දරුණු සටනක්. සිංහයින් මෙන් නිර්භීතව සටන් කරන සිංහල හමුදාව අවසානයේ ජයග්‍රහණය කරා ලඟා වෙද්දී චෝල ප්‍රධාන සෙන්පතියා පලා යනවා. එහෙත් ඔහු පසු පස හඹා යන හමුදාව ඔහුව මරණයට පත් කරනවා. ජයග්‍රහණයෙන් උදම් වෙන රුහුණු සහ මලය වැසියන් උත්සව පවත්වා ජයග්‍රහණය සමරන අතරේ පොළොන්නරුවේ චෝලයින් ඉතාමත් සිත් තැවුලෙන් පසු වෙනවා. සිංහල හමුදාව වැඩි කල් නොයවාම ඔවුන්ගේ ඊ ළඟ ඉලක්කය වන පොලොන්නරුව වෙත ගමනාරම්භ කරද්දී චෝලයින්ට අත් වූ පරාජය ගැන උදහස් වූ චෝල අධිරාජයා තවත් චෝල සේනාවක් ලංකාවට එවනවා. විජයබාහු රජු ඇතුළු හමුදාව පොළොන්නරුවට ලඟා වෙද්දී තමයි ඔවුන්ට සැල වෙන්නේ මාන්තොටින් තවත් චෝල හමුදාවක් ගොඩබසින බව. එනිසා ඔවුන් හා සටනට සේනාවෙන් කොටසක් යවා ඉතිරිය පොළොන්නරුවට පහර දීම සඳහා රඳවා ගැනීමට රජු තීරණය කරනවා.

මාන්තොට බලාගිය සේනාව චෝලයින් හමුවී කළ දරුණු සටනකින් පරාජයට පත් වෙන අතර මෙය ඇසූ රජු ඇතුළු සේනාව දකුණට පසුබැස කඳවුරු ගසා ගන්නවා. තමන් ඇල්ලීමට චෝලයින් එන බව ඇසූ රජතුමා, වටගිරි පර්වතයේ බලකොටුවක් සාදාගෙන එහි කඳවුරු බඳිනවා. මේ පර්වතය වට කරන චෝලයින් මාස 3 ක පමණ කාලයක් සටන් වැදුනත් ඔවුන්ට මුදුනට ලඟා වීමට හැකි වන්නේ නැහැ. ගල් පෙරලීම ආදී උගුල්වලින් චෝලයින්ට උපරිම හානි අත්කර දීමට සිංහලයින් සමත් වෙනවා. කොහොම උනත් විජයබාහු රජතුමාට කරදරවලින් නම් අඩුවක් වෙන්නේ නැහැ. රජු අතින් කතරගමදී මැරුම් කෑ කේසධාන ගේ සොහොයුරා රජුට විරුද්ධව දකුණේ කැරලි ඇති කරන්නේ මේ අතරේදී. ඔහුට පහර දී ඒ කැරලි මැඩපැවැත්වීමට රජු සමත් වෙන අතර කෙසධාන ගේ සොහොයුරා පලාගොස් සොළින්ට එකතු වෙනවා.

ඉන්පසුව විජයබාහු රජතුමා වලවේ ගඟ ඉහත්තාවේ සිට අවසාන සටනට සේනා සංවිධානය කිරීම අරඹනවා. මේ කාලයේ තමයි චෝල අධිරාජයා වන රාජ රාජ රජු මිය යන්නේ. ඒ සමගම චෝල අධිරාජ්‍යයේ අනික් යටත් රටවලුත් නිදහස් වීමේ අරගල ආරම්භ කළ නිසා එය චෝලයින්ට කිසිසේත්ම හොඳ කාලයක් උනේ නැහැ. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සිතූ රජතුමා වහාම තුන් පැත්තකින් පොළොන්නරුවට පහර දීම අරඹනවා. ගමෙන් ගම දිනා ගනිමින් ඒ ගම් වැසියන්ට හැකි තරම් කරුණාවන්ත වෙමිනි ඔවුහු රජරට බලා ගමන් කරනවා. කිහිප දිශාවකින් එල්ලවන ප්‍රහාර හමුවේ පසුබසින චෝලයින් ඔවුන්ගේ කඳවුරට වැදී ආරක්ෂාව තර කර ගන්නා අතර සිංහල හමුදාව මාස 3 කට අධික කාලයක් කඳවුර බිඳීමට උත්සාහ කරනවා. මේ අවස්ථාවේදී "රවිදේව" නම් නිර්භීත සෙනෙවියෙක් ඉදිරිපත් වී තවත් කිහිප දෙනෙක් සමග කඳවුරු බැම්මෙන් ඇතුලට පැන එහි ආරක්ෂකයින් මරා දමා දොරටු විවර කරනවා. එහිදී ඇතිවන අවසාන සටනෙන්, 50 වසරකට අධික කාලයක් ලංකාවේ බලපැවැත්වූ චෝල පාලනය නිමාවට පත් වෙනවා.

ඒ වන විට වැනසී තිබුණු රජරට ප්‍රතිසංස්කරණය කිරීම අරඹන රජතුමාට තවත් සතුරු කරදර වලට මුහුණ පෑමට සිද්ධ වෙන්නේ චෝලයින්ට පක්ෂව සිටි සිංහල නිලධාරීන්ගෙන්. ඒත් වෙහෙර ගිලපු රජතුමාට අග්ගලත් කජ්ජක්ද? ඒවාත් සාර්ථකව මැඩපැවැත්වීමට ඔහුට හැකි වෙනවා.

ඔන්න ඔය ආකාරයට තමයි මහා විජයබාහු රජතුමා (ක්‍රි. ව. 1070 - 1111) අපේ රට එක්සේසත් කලේ.

ක්‍රි. ව. 1017 දී පාලනය චෝලයින් අතට ගිය තැන් පටන් රට පාලනය කළ චෝල රජවරු -

රාජේන්ද්‍ර චෝල I (ක්‍රි. ව. 1017 - 1044)
රාජාධිරාජ චෝල (ක්‍රි. ව. 1018 - 1054)
රාජේන්ද්‍ර චෝල II (ක්‍රි. ව. 1051 - 1063)
විරාජේන්ද්‍ර චෝල (ක්‍රි. ව. 1063 - 1070)
අතිරාජේන්ද්‍ර චෝල (ක්‍රි. ව. 1063 - 1070)

Wednesday 10 April 2013

Posted by Unknown On 08:16