ගුප්ත අධිරාජ්‍යය උතුරු ඉන්දියාවේ පිහිටවූ විශාල හින්දු අධිරාජ්‍යයෙකි. ක්‍රි.ව. 320 දී පමණ පළමුවෙනි චන්ද්‍ර ගුප්ත රජු විසින් පිහිටුවනු ලැබූ එහි පසුව රජ පැමිණි රණශූර, දක්ෂ පාලකයන් නිසා අධිරාජ්‍යයේ ව්‍යාප්තියත්, ආර්ථික සංවර්ධනයත්, දේශපාලන සාමයත් හා සංස්කෘතියේ උච්චතම අවස්ථාවත් එළඹියේය.
මේ අධිරාජ්‍යයේ ස්ථාවර භාවයට ආධාර වූ වැදගත් රජුන් දෙදෙනා නම් සමුද්‍රගුප්ත රජු හා ඔහු පුත් දෙවෙනි චන්ද්‍රගුප්තයි. මොවුන් දෙදෙනාගේ කාර්ය සාඵල්‍යය තමා අධිරාජ්‍යයේ ද ස්වර්ණමය යුගය ළඟා කර දුන්නේ. විශේෂයෙන් සමුද්‍ර ගුප්තයෙන් යුද්ධ කාර්ය නිසාත් දෙවෙනි චන්ද්‍රගුප්තගේ පාලන කටයුතුත් නිසා රටපුරා පතළ වූ දේශපාලන සාමය මෙයට බෙහෙවින් හේතුවිය. මෙම රජුන් දෙදෙනා හැරෙන්නට සෙසු ගුප්ත රජුන් මේ මාතෘකාවෙහි ලා එතරම් වැදගත් නොවේ.
මේ විශාල අධිරාජ්‍යය ශත වර්ෂ දෙකකට කිට්ටු කාලයක් (ක්‍රි.ව.320 – 490 දක්වා) පැවතුණු බව පෙනේ. එහි රජ පැමිණි 2 චන්ද්‍රගුප්ත රජු දවස ස්වර්ණමය අවස්ථාව එළඹි බව කීම වඩාත් සත්‍යය. මේ උච්ඡාවස්ථාව එක් අංශයක් කෙරේ පමණක් නොවේ දක්නට ඇත්තේ. දේශපාලනමය, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික හා කලාත්මක ආදී හැම අංශයකම දක්නා ලැබේ.
දැනට නටබුන්ව පවත්නා ගොඩනැඟිලි හා ශිලා ලිපි ද කාසි හා විදේශික වාර්තා මඟිනුත් මේ කීම් බොහෝ දුරට ඔප්පුවේ. ශිලා ලිපි අතර අලහබාද් ලිපියත්
(හරිසේන කවියාගේ), වාර්තා අතර පාහියන්ගේ හා හියුංසෑං ගේ වාර්තාත් වැදගත් වේ. ගොඩනැඟිලි අතර නාලන්දා විශ්වවිද්‍යාල නටබුන් ද කාසි අතර සමුද්‍රගුප්තගේ හා 2 චන්ද්‍රගුප්තගේ කාසිද ගුප්ත සංස්කෘතියේ වටිනාකම් ලොවට මුරගා කියන්නාක් වැන්න.
(හරිසේන කවියාගේ), වාර්තා අතර පාහියන්ගේ හා හියුංසෑං ගේ වාර්තාත් වැදගත් වේ. ගොඩනැඟිලි අතර නාලන්දා විශ්වවිද්‍යාල නටබුන් ද කාසි අතර සමුද්‍රගුප්තගේ හා 2 චන්ද්‍රගුප්තගේ කාසිද ගුප්ත සංස්කෘතියේ වටිනාකම් ලොවට මුරගා කියන්නාක් වැන්න.
අධිරාජ්‍යයේ ස්ථාවරභාවය වැඩීමට බෙහෙවින් උපස්ථම්භක වූයේ රණශූර හා කාර්යක්ෂම පාලකයන් වූ සමුද්‍ර ගුප්ත හා 2 චන්ද්‍රගුප්ත ආදීන්ගේ පහළවීමයි. රාජ්‍ය උරුමය ඔවුනට ලැබුණේ පිය පරපුරෙනි. පැරැණි හින්දු වැඩවසම් ක්‍රමය අනුව පාලනය ගෙන ගියේය. පුතුන් අතරත් දක්ෂයාටම සිහසුන භාරදීමේ සිරිත මේ රජුන් අතර පැවැති බවට අලහබාද් ප්‍රශස්තිය සඳහන් කරයි. පළමුවැනි චන්ද්‍ර ගුප්ත රජු තමාගේ ඇවෑමෙන් හිස්වන සිහසුනට කාර්යශූර පුද්ගලයෙක් වූ සමුද්‍රගුප්ත කුමාරයාගේ නම යෝජනා කිරීම එබඳු වැඩෙකි. මේ නිසා සෙසු නෑදෑයන්ගේ මුහුණු නරක් වූ බවද එම ලිපිය තවදුරටත් කියයි. කෙසේ හෝ දක්ෂ පාලකයන්ට පාලනභාරය පැවැරීමෙන් ගුප්ත අධිරාජ්‍යයේ සෞභාග්‍යය ඇතිවූ බව පෙනේ.
අධිරාජ්‍යයේ ප්‍රදේශ විජයග්‍රහණය වහා වැඩී ගියේ සමුද්‍ර ගුප්තගේ ආක්‍රමණකාරී ප්‍රතිපත්තිය නිසාය. දැඩි අධිරාජ්‍ය වාදියකු වූ හෙතෙම උතුරු ඉන්දියාවේ හා දෙකානයේ ප්‍රදේශය තම රාජ්‍යයට ඈඳා ගත්තේය. ඉන්දියාවෙන් පිටත ලක්දිවට පවා ඔහුගේ බලය පැතිරිණි දැයි ඉතිහාසඥයන් අතර දැනට මතයක් පවතී. තවත් සමහරුන් සිතන පරිදි එය මිත්‍ර සම්බන්ධයක් පමණක් වන්නටත් පිළිවනි.
සමුද්‍රගුප්තගේ විජයග්‍රහණයන් අලහබාද් ප්‍රශස්තියේ දැක්වේ. ඒ අනුව අධිරාජ්‍ය සීමාවන් උතුරින් හිමාලය සිට දකුණින් දෙකානය දක්වා ද බටහිරින් කතියවාරය පටන් නැඟෙනහිරින් ඇසෑමය තෙක් ද ව්‍යාප්ත විණි. තත්කාලීනව පිහිටුවූ ලිපියක් බැවින් බොහෝ දුරට මෙහි කීම් පිළිගත හැකි වුණත්, ප්‍රශස්තියක් බැවින් එහි එන අතිශයෝක්ති නිසා එහි ඇති ඓතිහාසික වටිනාකම බොහෝ දුරට සීමාවෙයි.
සමුද්‍රගුප්ත දිනූ මේ ප්‍රදේශ පාලනය සඳහා ඔහු ක්‍රම කීපයක්ම අනුගමනය කළ බව ලිපියෙන්ම පෙනේ. ඇතැම් රාජ්‍යයන් හා විවාහ සබඳකම් මඟින් මිත්‍රවද, සමහර රජුන්ගෙන් කප්පම් ගැනීමෙන් ද, තවත් ප්‍රදේශ කෙළින්ම අධිරාජ්‍ය පාලනය යටතට ගැනීමෙන් ද හා තවත් කොටසක් සමඟ නොපැහැදිලි ලෙස සබඳකම් පැවැත්වීමෙන් ද යනාදී ක්‍රම කීපයකට පාලනය සංවිධාන වී තිබිණ.
සමුද්‍රගුප්ත ලංකාව හා ශකමුරුණ්ඩයන් සමඟ විවාහ සම්බන්ධයන් ඇති කැරගත් අතර දෙවෙනි චන්ද්‍ර ගුප්ත වාකාටක කදම්බ, නාග හා ලිච්ඡවීන් සමඟ ද විවාහ ගිවිසුම් ඇති කරගති. දෙවෙනි චන්ද්‍රගුප්තට අතිරේක වශයෙන් යුද්ධ ආක්‍රමණයන්ට කළ යුතුව තිබුණේ වයඹ දිග ශකයන් පැරැදවීම පමණෙකි. එම කාර්යය නිසා මෙතෙක් සුරක්ෂිත නොවූ වයඹ දිගද ආරක්ෂා කරලීමෙන් ගුප්ත රාජ්‍යය වඩාත් ප්‍රබල වීය. මෙසේ යුද්ධාක්‍රමණ හා විවාහ මඟින් යටත් ප්‍රදේශ ඇතිකරලීමෙන් අධිරාජ්‍යය විශාල වීමත් රට සෙමෙහි පිහිටුවාලීමත් නිසා ආර්ථික තත්ත්වය ද බෙහෙවින් දියුණුවිය. දෙවෙනි චන්ද්‍රගුප්ත ගේ පාලන කාලයේදී නිකුත් කළ රන් හා රිදී කාසි මෙයට කදිම නිදසුන් වේ.
කාසි මුද්‍රණය රනින් රිදීයෙහි පැවැතීම එකල පැවැති ආර්ථික සමෘද්ධිය පිළිබිඹු කරන්නකි. පුරාවිද්‍යා ගවේෂකයන් විසින් ගුප්ත කාසි රාශියක් සොයා ගනු ලැබ ඇත. ලිච්ඡවීන් හා ගුප්ත රජුන් පැවැත්වූ විවාහ සබඳතා ද මේවා සමහරෙකින් පැහැදිලි වේ. කාසියෙක එක් පැත්තෙක ලක්ෂ්මී දෙවඟන ද අනික් පැත්තේ ලිච්ඡවි කුමාරියක් ද සමහර කාසියෙක දැක්වේ. ලක්ෂ්මී දෙවඟන ආගමික විශ්වාසයක් මත යෙදීද? නැත්නම් මේ ලිච්ඡවි සම්බන්ධය නිසා එකල රටේ ඇතිවූ ශ්‍රී සමෘද්ධියේ සංකේතයක් දැයි සැක කිරීමට පිළිවනි. ගුප්ත රජුන් ලිච්ඡවි සම්බන්ධය මහත් ගර්වයෙන් දක්වනුයේ ද මේ නිසා විය හැක.
නැත්නම් උසස් කුලයක් හා සම්බන්ධ වීමට ලැබුණු නිසා විය හැක. රාජ භාණ්ඩාගාරයේ ධනය එක්රැස් වුණේ ඉඩම් බදු, කප්පම්, තෑගිබෝග ආදිය නිසාය. අලහබාද් ලිපිය මෙයට සාක්ෂ්‍ය දරයි. වෙළඳාම අතින් බැලුවත් ගුප්ත රාජ යුගය ඉතා සාරවත් විය. පෙර අපර දෙදිග වෙළඳාමේ මධ්‍යස්ථානයක් වීම නිසා ඉන්දියාවේ ජාතික ධනය වැඩිවූ බව පෙනේ. දේශපාලන සාමය ඊට බෙහෙවින් පිටුවහල් වීය.
භාණ්ඩාගාරයේ මුදල් පිළිබඳ අය වැය ගණන් තබන්නෝ ද වූහ. ඔවුන් “අක්ෂ පටලික” නමින් හඳුන්වනු ලැබීය. මේ අතර ගුප්ත පාලන සංවිධානය මනා සේ කරගෙන යාම සඳහා අධිරාජයා යටතේ විශාල නිලධාරි පිරිසක් ද වූහ. මන්ත්‍රී පරිෂද් හා සේනාපති ආදී මේ පාලන මඬුල්ල මෞර්ය පාලනයේ ක්‍රමවත් විකාශයෙකි. මේ කරුණු ද ගුප්ත කාලයේදී ඉන්දීය සංස්කෘතිය නඟාලීමට අතිශයින් උපකාරී විය.
මෙකල විශේෂයෙන් ස්වර්ණමය යුගය ඇතිවුණේ සංස්කෘතික කටයුතු පිළිබඳව ය. මෙවැනි සංස්කෘතික උද්දීපනයක් ඇතිවීමට ආධාර වූවෝ ගුප්ත රජුන් පමණක්ම නොවේ. කලක සිටම වැඩීගෙන එමින් පැවැති මෙම හින්දු සංස්කෘතිය මෙකලදී මුදුන් මල් හටගැනීමේ අවදියට පා තැබුවා මිසක් මේ සමයේදී අලුතින්ම බිහිවූවක් ලෙස හැඳින්විය නොහැක. විශේෂයෙන් මෙහිදී සඳහන් කළ යුත්තේ මේ වන විට බුද්ධ ධර්මය ඉන්දියාවෙන් කෙමෙන් තුරන් වීමත් සමඟම හින්දු පුනර්ජීවනය ඇතිවූ බවයි. සම්පූර්ණයෙන්ම වාගේ ගුප්ත සංස්කෘතිය හින්දු ආගම පදනම් කැර ගෙන බිහි වූවකි. එනම් හින්දු ආගමේ වැදගත් අවදියකි මේ.
මෙහිදී මෙම සංස්කෘතික දියුණුව පිළිබඳ ඉතිහාසය සාහිත්‍ය ආගමික හා කලාත්මක යනුවෙන් බෙදා සාකච්ඡා කිරීම පහසුවෙන් වටහා ගැනීමට හේතුවේ යැයි හඟිමි. එකල ජනතාව අතර ව්‍යවහාර භාෂාව වූයේ “කාව්‍ය සංස්කෘතියයි.” මේ වන තෙක් ග්‍රන්ථ රචකයන් භාවිත කළේ ප්‍රාකෘතිය හා වෛදික සංස්කෘතයයි. එහෙත් කාව්‍ය සංස්කෘතය වඩා සරල බැවිනුත් මෙසේ ජනපි‍්‍රය භාෂාව වන්නට ඇතැයි සිතේ. මෙම භාෂාව ක්‍රි. ව. 1 ශත වර්ෂයේ ඇති වුවත් එය ක්‍රමයෙන් වැඩි ආයේ පොදු ජනයා අතර ප්‍රචලිත විය. එය ග්‍රන්ථ රචනයට හා අධ්‍යාපන මාධ්‍යය සඳහාත් යොදාගත් බව මෙකල ලියැවි ඇති ග්‍රන්ථ සමූහයෙන් ම පෙනී යන කරුණකි. එසේ ම එම භාෂාවේ ඇති සරලභාවය හා අලංකාරවත් භාවය වටහා ගැනීමට හරිසේනගේ අලහබාද් ප්‍රශස්තියම ප්‍රමාණවත් වේ යැයි හඟිමි.
මහායාන බෞද්ධ ග්‍රන්ථ ද ලියැවී ඇත්තේ මෙම භාෂා මාධ්‍යයෙනි. එහෙත් මෙතෙක් පැවැති ප්‍රාකෘතය සම්පූර්ණයෙන් අභාවයට නොගියේය. මේ සාහිත්‍ය පෝෂණය වඩාත් ඉක්මන් වීමට හේතුව නම් ගුප්ත රජුනුත් කලාකාමි පිරිසක් වීමයි. සංගීතය හා කලාව පි‍්‍රය කළ බැවින් සමුද්‍රගුප්තට “කවිරාජ” යන විරුදාවලිය ද ලැබී ඇත. වීණාවක් අතින් ගත් ඔහුගේ රූපය දක්වන කාසිය මේ කරුණ ඔප්පු කරන්නකි. දෙවෙනි චන්ද්‍රගුප්ත ද සාහිත්‍යාභිලාෂින්ට හා කලාකරුවන්ට ආධාර කළේය. ඔහුගේ රාජ සභාවේම “නවරත්න” නමින් ශ්‍රේෂ්ඨ කවීන් සිටි බව ද ප්‍රබන්ධ කථාවලින් ද හෙළිවේ.
ප්‍රබන්ධවලදී “වික්‍රමාදිත්‍ය” යන නාමයෙන් හඳුන්වනු ලබන්නේ දෙවෙනි චන්ද්‍රගුප්ත රජු බව ඉතිහාසඥයන් වැඩි දෙනා ගේ පිළිගැනීමයි. ඔහු කවියනට ආධාර ලබා දුන් අතර තමන් ද කලාපි‍්‍රය වීමෙන් සංස්කෘත කාව්‍ය හා නාට්‍ය ග්‍රන්ථාදි කලා කෘති ශීඝ්‍රයෙන් දියුණු විය. මේ යුගයේදී ශ්‍රේෂ්ඨතම කලා නිර්මාණ බිහිවීමට හේතු වූයේ මේ කරුණුයි. “නවරත්නයන්” අතුරෙන් ඉතාම කීර්තිමත් පඬිවරයා නම් කාලිදාසයි. සංස්කෘත සාහිත්‍යයට නොමැකෙන කීර්තියක් අත්කර දුන් ඔහු ලෝක සාහිත්‍යය නමැති අම්බරයේ දීප්තිමත් තාරකාවක් ව අදත් බැබලේ. ඔහු ප්‍රතිභාපූර්ණ කවිවරයකු මෙන්ම දක්ෂ දෘශ්‍ය කාව්‍ය රචකයෙක් ද විය.
ඔහුගේ එම රසපූර්ණ දෘශ්‍ය කාව්‍ය නම් ශකුන්තලා, වික්‍රමෝර්වශිය හා මාලවිකාග් නිමිත්‍රයත්ය. ඒ අතර රඝුවංශ හා කුමාරසම්භව නම් මහා කාව්‍ය දෙක ද මේඝදූත නම් දූත කාව්‍යයද, සෘතුසංහාර නම් භාවගීතය ද ඔහුගේ අමරණීය කෘතීහු වෙත්. ඔහු හා සමකාලීන තවත් පඬිවරුන් ද විද්‍යාඥයන් හා දාර්ශනිකයන් ද විසින් සංස්කෘත සාහිත්‍යය වර්ධනයට කළ සේවය ඉමහත්ය.
භාස, ශුදාක, විශාඛදත්ත, වරාහමිහිර බ්‍රහ්ම ගුප්ත, අර්යභට, දින්නාග, වසුබන්ධු ආදිහු ඔවුන් අතර ප්‍රමුඛ වෙත්. මොවුන්ගේ සමහර කෘති දැනට අභාවයට ගොස් ඇත. භාස විසින් ම නාට්‍ය 13 ක් ලියූ බව සඳහන් වේ. එසේ ම තාරක විද්‍යාව, නීතිය, ව්‍යාකරණ, ගණිත හා දර්ශන යන විෂයයන් පිළිබඳව ද ග්‍රන්ථ රචිත විය. රාමායණ, මහාභාරත යන වීර කාව්‍ය දෙක අවසාන වරට සකස් වූයේ ගුප්ත යුගයේ පඬිවරුන් අතිනි. පුරාණ සාහිත්‍යය ගැන ද කිව යුත්තේ එයයි.
මෙබඳු සාහිත්‍ය පෝෂණයට ඉවහල් වූයේ එකල පැවැති අධ්‍යාපන තත්ත්වයේ උසස්කමයි. හින්දු ආගමික ආයතන ක්‍රමයෙන් අධ්‍යාපන මධ්‍යස්ථාන බවට පෙරැළිණි. මෙයට බෞද්ධ ආගමික සම්ප්‍රදායෙන් බොහෝ දුරට ආභාස ලැබී ඇති බව පෙනේ. තක්ෂිලාව මෙකල ඉතාමත් දියුණු අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වන්ට ඇත. එහෙත් එම ප්‍රදේශය හරහා ඉන්දියාවට පැමිණි පාහියන් එම විශ්ව විද්‍යාලය ගැන කිසි සඳහනක් නොකරයි.
අනික් අධ්‍යාපන මධ්‍යස්ථාන නම් බරණැස්, මථුරා හා පාටලිපුත්‍රයි. හින්දු අධ්‍යාපනය බෙදා දීමේදී බමුණු “අග්‍රහාර ගම්” ඉතා වැදගත්වේ. ගෝදාවරී නදිය අසබඩ පිහිටි පිෂ්ටපුරම් එබන්දකි. මේවාට රජයේ ආධාර නොඅඩුව ලැබිණි. ඒ අතර බෞද්ධ විහාර වටා ගොඩනැගුණු ශාස්ත්‍රය බෙදා දෙන තැන් ද තිබිණි. නාලන්දා විශ්ව විද්‍යාලය ඒවා අතුරෙන් මුල් තැන ගනී. උසස් අධ්‍යාපන ආයතනයක් වූ එය ජාත්‍යන්තර කීර්තියට ලක් වූවකි. ලෝකයේ නා නා දිශාවලින් ශාස්ත්‍රාභිලාෂිහු එහි දහස් ගණනින් ඇදී ආහ.
එහි ඉගෙනුම ලත් අය දස දහසක් පමණ බවත් දිනකට දේශනා වාර 100 ක් පමණ පැවැත්වූ බවත් චීන වාර්තා දක්වයි. මහායාන හා ථෙරවාද ආදි දර්ශන වාදද නීතිය, තර්ක, ව්‍යාකරණ, ගණිත, ඡ්‍යොතිර් විද්‍යා ආදි හැම විෂයයක්ම ඉගැන්වූයේය. මෙහි තිබුණු ශ්‍රී විභූතිය මෙකල පවා, පුරාවිද්‍යා ගවේෂණවලින් මතු වූ නටබුන් වලින් පැහැදිලි වේ. මෙබඳු මධ්‍යස්ථාන නඩත්තුව සඳහා රජවරුන් හා අසල්වාසීන් විසින් ගම්වර ප්‍රදානය කරන ලදී. මේවා නිසා අධ්‍යාපන ප්‍රබෝධය භාරතය පුරා පැතිරෙන්නට ඇත. සංස්කෘත භාෂාව රාජ්‍ය භාෂාව වන්නට ඇත.
ගුප්ත සමයය හින්දු ආගමේ අලුත් මුහුණුවරකින් වැඩී ගිය දියුණුවක් දක්නට ලැබෙන සමයෙකි. එයද මේ යුගයට පෙර පටන් සකස් වෙමින් ඇවිත් උසස් අවස්ථාවකට සම්ප්‍රාප්ත වීමකි. මේ වන විට හින්දු ආගමේ ශෛව හා වෛෂ්ණව වශයෙන් ප්‍රභේද දෙකක් වැඩී ගොස් තිබිණි. මෙකල විශේෂ ලක්ෂණය නම් ඒ දෙකොටසම ජනපි‍්‍රය වී තිබීමයි. ඒ ඒ ආගමික කොටස්වලට ප්‍රාදේශීය වෙනත් ආගමික විශ්වාස ද මිශ්‍ර විය. එය කවර ලෝක ආගම්වල ද දක්නට ලැබෙන්නකි. මෙකල භක්තිවාදය ජනයා අතර මුල් බැස ගත්තේය. දකුණු ඉන්දියාවේ හටගත් එය උතුරට ද ව්‍යාප්ත විය. හින්දු ආගමේ ඇති වූ විශාල දියුණුවට එකල ඉදිවුණු ගොඩනැගිලි හා ප්‍රතිමා ආදිය සාක්ෂ්‍ය දරයි.
එහෙත් බෞද්ධාගම ඇදහු අයද හිඟ නොවූහ. පාහියන් භික්ෂුව කියනුයේ එකල ඉන්දියාවේ බෞද්ධයන් බොහෝ සිටි බවයි. ඇතැම් විට ඔහුගේ කීම අතිශයෝක්තියක් විය හැකි මුත් සාර්නාථ, බුද්ධගයා, වෙල්ලෝර් වැනි බෞද්ධ නෂ්ටාවශේෂ දෙස බලන විට එම කීම බැහැර කළ හැකි ද නොවේ. ගුප්ත රජුන් හින්දුන් වූ මුත් කවදත් භාරතිය හින්දු හා බෞද්ධ රජුන්ගේ පාලන ප්‍රතිපත්තිය වූයේ ආගමික සහනශීලිත්වය ගරු කිරීමයි. ඒ නිසා බෞද්ධ කටයුතු වලට ද ඔව්හු උදව් කළහ. ථෙරවද ධර්මය උතුරේ හා දකුණේ ජනපි‍්‍රය වූ බව පෙනේ. ලක්දිව පමණක් නිර්මල ථෙරවාදය රැඳුණු වග එකල ඉන්දියාව පවා පිළිගත් බව ථෙරවාදය හැදෑරීමට බුද්ධඝෝෂ හිමි මෙහි එවීමෙන් පෙනේ. ඔහු ආයේ ථෙරවාදය නැවැත ඉන්දියාවට හඳුන්වා දීමට අවබෝධයක් ලබාගැනීම සඳහා විය හැක. මෙකල මහායාන ධර්මය ප්‍රචාරය කළ අය අතර දින්නාග හා වසුබන්ධු වැනි දාර්ශනිකයෝ මුල් වූහ.
මේ අතර ජෛනාගම ද සමහර ප්‍රදේශවල අදහන ලද.ි මථුරාවේ හා වලභියේ ද ජෛන ධර්ම සංගායනා දෙකක් පැවැත්වූ බව තද් ග්‍රන්ථ ප්‍රකාශ කරයි. දකුණේ හා දෙකානයේ ජෛන භක්තිකයන් සිටි බව පෙනේ. මොවුනට ද රාජ්‍ය ආධාර ලැබිණ. මෙබඳු ජෛන, හිංදු හා බෞද්ධ ආගමික නිකායන් අතර ආගමික වාද හා සාකච්ඡා ද පැවැත්විණි.
කලාත්මක අංශය සලකා බැලුවත් එහිද විශාල දියුණුවක් දක්නට ලැබේ. නෂ්ටාවශේෂ මෙයට සාක්ෂ්‍ය දරයි. එම කලාත්මක අංග ද කලක සිටම වැඩීගෙන ආවක්මය. එම කලා කෘති ගොඩනැගුණේ හින්දු හා බෞද්ධ ආගම් වටාය. ජනයා අතර මුලදී හින්දු දේවරූප වන්දනාව නොපැවැතියේ නමුදු මෙකල ඔව්හු ඊට ඇබ්බැහි වී සිටියහ. බුද්ධාගමේ ප්‍රතිමා වන්දනය ද සමකාලීනව ඇරැඹිණි. ක්‍රි. ව. 1 ශත වර්ෂයේ නිකුත් කළ කාසි වලින් ද මීට ඉහත දේවතා රූප වන්දනය පැවැති බව පෙනේ. හැම හින්දු දෙවොලකම ප්‍රධානත්වය ලැබෙන්නේ විෂ්ණු හා ශිවටය. විෂ්ණු රූප බහුලව සොයාගෙන ඇති අතර ශිවගේ රූප ස්වල්පයෙකි.
බුදු පිළිමයේ ක්‍රමික විකාශය ද මෙකල තවදුරටත් ඇතිවිය. ගන්ධාර ක්‍රමයෙන් ඇතිවූ බුදු පිළිමයේ රශ්මි වලල්ල මුලදි ඉතා චාම්ය. ගුප්ත ශිල්පියා අතින් එය අලුත් මුහුණුවරක් ගනී. එහි රශ්මි වලල්ල ඉතා විසිතුරු කැටයමින් අලංකාර වේ. මේ ශිල්පින්ගේ කලා විශාරද භාවයට හොඳම නිදසුන් නම් මථුරා හා සාර්නාත් පිළිමයි. ගුප්ත කලාකරුවන් බුදුන්ගේ කරුණා ගුණය හා සුන්දරභාවය ගලේ මූර්තිමත් කර දැක්වීම ඉතාම චිත්තාකර්ෂණියයි. චෛත්‍ය හා කුළුණු නිර්මාණය ද මෙකල දක්නට ලැබේ. ගලින් නෙලූ හින්දු දේවාල ද්වාරය ඉතාමත් විසිතුරු කැටයමින් අලංකාර වේ.
චිත්‍ර කලාව අතින් ද ගුප්ත යුගය විශේෂ දියුණුවක් ලැබිය. අජන්තා බිතු සිතුවම් මෙයට කදිම නිදසුන්ය. ජාත්‍යන්තර කීර්තියක් ඒවාට ලැබී ඇත්තේ ගුප්ත නිර්මාණ ශිල්පියා ගේ කලා කෞශල්‍යයෙන් බව අවිවාදයෙන් පිළිගත යුතුය. ගුප්ත සංස්කෘතියේ තවත් විශේෂයක් නම්, එය ඉන්දියාවෙන් බැහැර රටවලත් ව්‍යාප්ත වීමයි. නාලන්දා විශ්ව විද්‍යාලය හා පැවැති විදේශ සම්බන්ධතා හා ඉන් යැවූ ධර්මදූතයන් මාර්ගයෙන් මේවා සුකර විය.
අග්නිදිග ආසියාව හා චීනය හා ලක්දිවත් ඒ බලපෑම් ඇතිවී ගුප්ත ප්‍රතිමාවේ ආභාසය මධ්‍ය ආසියාවේ හා තවත් රටවල ඇති පිළිමවලින් ද පිළිබිඹුවේ. බෞද්ධ හා හින්දු ආගමික අදහස් මේ රටවල පැතිරිණි. ලක්දිවින් යන භික්ෂුන් සඳහා බුද්ධගයාවේ විහාරයක් තැනීම ආදි සිද්ධි ලක්දිව හා ඉන්දියාව අතර පැවැති සංස්කෘතික සම්බන්ධතා වලට නිදසුන් වේ. ඉන්දියා ගෘහ නිර්මාණ කලාව, ප්‍රතිමා කලාව හා ආගමික අදහස් ද මෙසේ ලක්දිව කලා කෘතින්හි පිළිබිඹු වේ.
ඉසුරුමුණි විහාරයේ ගුප්ත කලා ආභාසය දැක්වෙන බව ඉතිහාසඥයන්ගේ මතයයි. ගුප්ත පාලනය ඉන්දියාව පුරා පතළ නොවූවත් ගුප්ත සංස්කෘතිය අතින් නම් ඉන්දියාව පුරා එකීයත්වයක් දක්නට ඇත. මේ ආදි කරුණු සලකා බලන විට අපට පැහැදිලි වනුයේ ඉන්දීය සංස්කෘතියේ මුදුන්මල් පිපුණු අවධිය ගුප්ත පාලනය සමය පසුබිම් කරගෙන ඇතිවූ බවයි.
සුපිරියි මචෝ
ReplyDelete