Wednesday 10 April 2013

Posted by Unknown On 07:31

ඕනෑම සමාජයක ඉදිරි ගමන සහ උන්නතිය තීරණය කරන ප්‍රධානම කාරණය වන්නේ එහි සාමාජිකයන්ය. ඔවුන්ගේ දැක්‌ම, උෙද්‍යාගය, ධෛර්ය හා උත්සාහය සංවර්ධන ක්‍රියාවලියක්‌ සාර්ථක වීමෙහිලා කරන සම්මාදම තීරණාත්මකය. එම නිසා මහජන සහභාගිත්වය ඕනෑම සංවර්ධන සැලැස්‌මකදී සහ ක්‍රියාවලියකදී මුලින්ම අවධානය කළ යුත්තකි. අදාළ ප්‍රදේශයේ හැකියාවන්, සීමාවන් මෙන්ම උරුමයන් හඳුනාගැනීම මෙහිදී ඉතාම වැදගත් කරුණකි. සංවර්ධන ක්‍රියාවලියක්‌ සාර්ථකව ඉදිරියට ගෙන යැම සඳහා එහි කොටස්‌කරුවන් වන ප්‍රදේශ පුරවැසියන් ඒකායන සහ පැහැදිලි අරමුණක්‌ මත සහභාගි කරවා ගැනීමේදී මෙම දැනුම ඔවුන් තුළ තිබීම අත්‍යවශ්‍ය වේ. මෙම කෙටි සටහනෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ එම ක්‍රියාවලිය සඳහා පුළුල් සාකච්ඡාවකට පදනම ඇති කිරීමයි.

ඌවට අයත් වන ප්‍රදේශයන් සාම්ප්‍රදායී ලෙස වර්ග කිරීමක්‌ද දැකිය හැකිය.

ඌව පළාත භූ දර්ශන අතින් අතිශයින් විවිධාකාර වූත්, පරිසරාත්මකව ඉතා සෞන්දර්යාත්මක වූත් ප්‍රදේශයකි. දේශගුණික වශයෙන් විවිධත්වයක්‌ දක්‌වන අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස ලංකාව තුළ දක්‌නට ලැබෙන සෑම වර්ගයකම වෘක්‍ෂලතා සහ වනජීවී සම්පත් ඌව තුළ දක්‌නට ඇත.

ඌවේ භූ ලක්‍ෂණ රටාව විවිධ භූ විද්‍යාඥයන් විසින් විවිධ ලෙස කොටස්‌ කර ඇත. එල්. සී. කුක්‌ නමැත්තා ඌවේ ගුරුපන කොටස්‌ හතකට වෙන්කර හඳුන්වයි. එයින් සරල වර්ගීකරණයක්‌ කරන්නේ නම් ඌවේ භූ ලක්‍ෂණ පහත ලෙස දැක්‌විය හැකිය.

1. ඌව ෙද්‍රනිය

2. උස්‌ සමබිම් (වැලිමඩ සානුව)

3. දක්‍ෂිණ ප්‍රදේශය සහ ලුණුගල ආශ්‍රිත කඳුවැටි

4. නැගෙනහිර දිශාවට ඇති පහත් බිම්

ඌව පළාතට අයත් උසම ස්‌ථානය වන්නේ නමුණුකුල කන්දයි. එය අඩි 6671 කි. හපුතලේ කඳු, හග්ගල ප්‍රදේශය හා නමුණුකුල අඩවිය යන සියල්ලම අඩි 6000 ට ඉහළින් පවතී. වැලිමඩ සානුව සාමාන්‍ය වශයෙන් අඩි 5000 ක පමණ උසකින් යුතුය.

පහත් ප්‍රදේශය සාමාන්‍ය වශයෙන් අඩි 100 ට වඩා උස්‌ නොවේ.

මෝසම් සුළං දෙකෙන්ම මෙන්ම අන්තර් මෝසමින්ද වර්ෂාව ලබන ඌවේ දේශගුණය විවිධාකාරය. තෙත් කලාපීය ලක්‍ෂණ සිට අන්තර් මධ්‍ය වියළි කලාප ලක්‍ෂණ සහ වියළි කලාප ලක්‍ෂණ ප්‍රදේශයේ දක්‌නට ලැබේ. පට්‌ටිපොල ප්‍රදේශයේ තෙත් කලාපීය ලක්‍ෂණ ඇත. උඩුපුස්‌සැල්ලාව වැනි ප්‍රදේශවල වාර්ෂික වර්ෂාපතනය මි.මි. 2500 පමණ වේ. කතරගම අවට දක්‌නට ලැබෙන්නේ අර්ධ ශුෂ්ක බවට සමාන දේශගුණයකි. වැලිමඩ සානුවේ ඇත්තේ වියළි එහෙත් සීතල දේශගුණයකි. ගම්පහ ප්‍රදේශයේ දේශගුණය සෞම්‍යයි.

භූ ලක්‍ෂණ හා දේශගුණ ලක්‍ෂණවලට සමාන්තරව විහිදී ඇති වෘක්‍ෂ ලතා සම්පත් ප්‍රදේශය තුළ විහිදී ඇත. තෙත් කලාපීය සමක වනාන්තර, කඳුකර වනාන්තර, තෘණ බිම්, පතන්, අන්තර් මධ්‍ය වනාන්තර මෙන්ම වියළි කලාපීය වනාන්තර, ශුෂ්ක කලාපීය ලඳු කැලෑ ප්‍රදේශයේ දක්‌නට ලැබේ. මනුෂ්‍ය ක්‍රියාකාරිත්වය හේතුවෙන් වර්තමානයේ ඌව වනාන්තර අඩුවෙමින් පවතී.

ප්‍රදේශය පුරා ගංගා මණ්‌ඩල කීපයක්‌ සහ ජල මාර්ග රැසක්‌ පැතිරී ඇත. ශුෂ්ක කලාපයට අයත් වන බිම් තීරය හැරුණු විට ඌවේ සියලු ප්‍රදේශවල ප්‍රමාණවත් ජල ප්‍රමාණයක්‌ ඇත. පළාතට අයත් ප්‍රධානම ජල මාර්ගය මහවැලි ගංගාවයි. මෙහි ප්‍රධාන ශාඛා වන්නේ උමා ඔය, බඳුළු ඔය, මැදඔය, ලොග්ගල් ඔය යන ඔයවල්ය. ඌව පළාතෙන් ඇරඹෙන ප්‍රධාන ගංගාවන් කීපයක්‌ද ඇත. ඒවා නම් මැණික්‌ ගඟ, කිරිඳිඔය, සහ කුඹුක්‌කන් ඔයයි. ඊට අමතරව හැඩඔය, විලාඔය හා කරඳ ඔය ඌවෙන් ඇරඹෙන සුළු ජල පහරවල් කීපයකි.

ඌව යන නාමයේ සම්භවය පිළිබඳව විවිධ මත ජනප්‍රවාදවල දැක්‌වේ. එයින් ජනප්‍රවාද දෙකක්‌ වඩාත් ප්‍රචලිතය. මේ ජනප්‍රවාද දෙකෙන්ම කියෑවෙන්නේ "ඌව" යන නාමය "හූව" යන පදයෙන් බිඳී ආ බවකි. එක්‌ මතයකට අනුව පොසොන් කාලය තුළ බණ්‌ඩාරවෙල, කිතල්ඇල්ල කොට්‌ඨාස හරහා "හූ" ශබ්දය නගමින් හමා යන සුළඟ නිසා මෙම ප්‍රදේශයට "හූව" යන නම ප්‍රථමයෙන් ලැබුණ බවත් එය පසුව "ඌව" ලෙස බිඳී ආ බවත්ය. දෙවෙනි ජනප්‍රවාදය අනුව දුටුගැමුණු රජු එළාර රජු සමඟ යුද්ධයට යැමට පෙර තමා එම යුද්ධයෙන් ජය ගතහොත් කතරගම දේවාල භූමියේ සිට ශක්‌තිමත් පුරුෂයෙකුගේ හූ ශබ්දය ඇසෙන අට දිසාවට අයත් භූමිය කතරගම දේවාලයට පූජා කිරීමට පොරොන්දු වූ බව කියෑවේ. යුද්ධයෙන් ජය ගැනීමෙන් පසු එසේ පූජා කළ ප්‍රදේශය ප්‍රථමයෙන් "හූව" ලෙසත් පසුව "ඌව" ලෙසත් බිඳී ඇත.

ලිත ඉතිහාසය තුළ ඌව යන නමේ සම්භවය පිළිබඳව අනුමානයක්‌ කළහැකි සඳහනක්‌ ප්‍රථම වරට එන්නේ මහානාග රජුගේ (ක්‍රි.ව. 7-19) කාලයේය. ඔහු විසින් රුහුණේ හුවාච කණ්‌තික නම් ස්‌ථානයේ චූලනාග පබ්බත නම් විහාරය කළ බව මහාවංශයේ සඳහන් වේ. ඌව රට යන්න මුලින්ම භාවිත වී ඇත්තේ ක්‍රි.ව. 1701-1126 මහා විජයබාහු රජුගේ කාලයේ බව මහා වංශයේ විස්‌තර ආශ්‍රයෙන් මාලනී ඇඳගම ප්‍රකාශ කරයි. ඉතිහාසයේ කරුණු පරීක්‍ෂා කරන විට පෙනී යන්නේ ඌව ප්‍රදේශය යටත් විජිත යුගයට පෙර දිගටම රෝහණ රාජ්‍යයට අයත්ව තිබූ බවයි. එහෙත් ඌවට මුල් යුගයේ අයත් වූ ප්‍රදේශ හෝ දේශසීමා පිළිබඳ පැහැදිළි සඳහනක්‌ නැත. එහෙත් එදා ඌවට අයත්වූ ප්‍රදේශය සහ අද ඌවේ පරිපාලන ප්‍රදේශය බොහෝ දුරට සමාන යෑයි අනුමාන කිරීම සාවද්‍ය නොවේ. සමහරවිට එදා ඌවට අයත්වූ ප්‍රදේශ වර්තමාන ඌවෙන් ඉවත්වී ගොස්‌ තිබීමට ඉඩ ඇත. එමෙන්ම අළුත් ප්‍රදේශ එක්‌වූවා යෑයිද අනුමාන කළ හැකිය. වැදගත් වන්නේ ඌව යන ප්‍රදේශය ලංකා රාජ්‍යයේ කොටසක්‌ ලෙස ක්‍රි.ව. 1 දී පමණ සිට දිගටම පැවැතීමයි.

ලේඛනගත ලංකා ඉතිහාසය රාජධානිවල ඉතිහාසයයි. එම නිසා ප්‍රධාන රාජධානි සහ ඒවායේ පාලකයන්ට අමතරව වැඩියමක්‌ ගැන විස්‌තර සඳහනකට ලේඛකයෝ උත්සුක නොවූහ.

ඌව ගැන වැඩියමක්‌ ලිත ඉතිහාසයේ නොවීමට ප්‍රධාන හේතුවක්‌ වන්නේ මෙයයි. යටත් විජිත යුගයට පෙර ඌව පිළිබඳව සඳහන් වන කරුණු රෝහණ රාජධානිය සහ අනුරාධපුර හා පොළොන්නරු රාජධානිවල ගැටුම්වලට සම්බන්ධ විස්‌තරවලට පමණක්‌ සීමා වේ. එම සීමාසහිත තොරතුරුවලින් පෙනී යන්නේ ඌව සමහර කාලවලදී ලංකා දේශපාලන ඉතිහාසයේ ගැටුම්වල මධ්‍යස්‌ථානයක්‌ වූ බවයි. එය වඩාත් ඉස්‌මතු වන්නේ යටත් විජිත යුගයේය. පෘතුගීසි යුගයේ සිදුවූ ඌවේ කැරැල්ල නම් වූ සිංහලේ ප්‍රථම නිදහස්‌ සටන දෙවැන්නයි.

ඌවේ ප්‍රදේශය පිළිබඳව ලිත ඉතිහාසය සඳහන් වීමක්‌ දක්‌නට ඇත්තේ ක්‍රි.ව. පළමු සියවස පමණ සිට වුවත් ඌවේ ජනාවාස කරණය ඊට බොහෝ ඉහත සිදුවූවක්‌ බවට ප්‍රාග් ඓතිහාසික සාක්‍ෂි තිබේ. මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ නිල්ගල ගුහාව මෙම සියවස මුලදී කැනීම් කරන අවස්‌ථාවේ මධ්‍ය ශිලා යුගයට අයත් මෙවලම් හමුවී ඇත. මීට අමතරව ප්‍රාග් ඓතිහාසික මිනිසුන් විසූ බවට මිනිස්‌ ඇටසැකිලි සාක්‍ෂි ප්‍රදේශයෙන් හමුවී ඇත. සමහරුන් පවසන අන්දමට ක්‍රි.පූ. 1800-1900 අතර කාලයේ ජීවත් වූවා යෑයි විශ්වාස කරන රාවණ රජුගේ රාජධානියේ කොටසක්‌ ලෙස ඌවේ පැවතුණි. ජනප්‍රවාද වලට අනුව රාවණ රජු තම ප්‍රධාන නගරය මුහුදට යටවූ පසු ඌවේ බදුලු පුරයට පැමිණ තම රාජධානිය පිහිටුවිය.

විවිධ කාලයන්හිදී සිංහල රාජ්‍යය මුහුණ දුන් දේශපාලන අර්බුදයන් ඌවේ පරිහානියට බලපා ඇත. මුල් යුගයේ රුහුණු රටට අයත්ව තිබූ ඌව රුහුණු රාජධානියේ පරිහානියත් සමඟ මහනුවර රාජධානියට අයත්විය. එසේ වුවත් ඌව සම්පුර්ණයෙන්ම මහනුවරට යටත්ව තිබූ කොටසක්‌ යෑයි නිගමනය කළ නොහැක. බොහෝවිට සිදුවී ඇත්තේ ඌව නායකයන් මහනුවර රජුට පක්‍ෂපාතිත්වය දැක්‌වීම පමණි. සාමාන්‍ය ක්‍රියාවලියේදී ඔවුන් බොහෝ දුරට සිටියේ නිදහස්‌ පාලකයන් ලෙසයි. එසේ වුවත් උඩරට රාජ්‍යයට තර්ජන එල්ලවූ සෑම අවස්‌ථාවකම එය ආරක්‍ෂා කරගැනීමට පැමිණීම ඌව නායකයන් කළ දෙයකි. එහිදී ඉතාම වැදගත් වන්නේ 1818 සිංහලේ ප්‍රථම නිදහස්‌ සටන වුවත් ඌවේ යුද්ධ ඉතිහාසය සලකද්දී 1630 පෘතුගීසීන් පරාජය කළ රන්දෙණිගල සටන අමතක කළ නොහැක.

රන්දෙණිගල සටන ඌව වැසියන්ගේ රාජපාක්‍ෂික භාවය, දේශමාමකත්වය හා නිර්භීත බව විදහා පෙන්වන මෑත කාලීන නිදසුනකි. 1630 ඌව ප්‍රදේශයේදී පෘතුගීසීන් පරාජය කළ මෙම සටන සිදුවූ කාලයේ මහනුවර රාජධානියට ඌව අයත්විය. රජතුමා වූයේ කුමාරසිංහ රජුය. ඇල්ල වැල්ලවාය පාරේ වැල්ලවායේ සිට සැතැපුම් හයක පමණ දුරින් පිහිටි රන්දෙණිගල සිදුවී ඇති මෙම සටනින් පෘතුගීසි හමුදාව සහමුලින්ම විනාශ විය. සටන මෙහෙයවූ පෘතුගීසි සේනාධිපති කොන්ස්‌තන්තීනුද සා මරණයට පත් වූයේය. මරණයට පත්වූ පෘතුගීසීන් 350 පමණ දෙනාට අමතරව ඔවුන්ගේ සේනාවේ කොටසක්‌ අත්අඩංගුවට ගැනුණි. පෘතුගීසීන්ට ලංකාවේදී දේශීය සේනාවක්‌ විසින් ලබාදුන් දරුණුම පරාජය ලැබුණේ රන්දෙණිගල සටනේදීය.

රන්දෙණිගල සටන යුද්ධමය වශයෙන් පමණක්‌ නොව සමාජයීය වශයෙන්ද ඌවේ තත්ත්වය ගැන තොරතුරු දක්‌වයි. මෙයට සම්බන්ධ එක්‌ ජන ප්‍රවාදයක්‌ ඌවේ වැසියන් අතර තිබූ ජාතික සමගිය මොනවට විදහා පායි. මේ යුගයේ ඌවේ සිංහල ජනයාට අමතරව මුස්‌ලිම් ජාතිකයන් පදිංචිව සිටියහ. ජනප්‍රවාදයට අනුව පෘතුගීසීන්ගේ සේනාව පැමිණෙන විට මහනුවර රජතුමා ගස්‌ බෙනයක සැඟවී ඇත. එය දැක ඇත්තේ මුස්‌ලිම් කාන්තාවකි. පෘතුගීසීන් ඇයගෙන් රජුගේ තොරතුරු ඇසුවත් තොරතුරු හෙළි නොකළාය. කෝපයට පත් පෘතුගීසීන් කාන්තාව පෙතිකර කපා දැමූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මේ තිබූ සිංහල මුස්‌ලිම් සුහද බව ඉංග්‍රීසි යුගයේදී ඌවෙන් නැතිවී ගියේය. එයට හේතුව වූයේ ඉංග්‍රීසීන්ගේ උපක්‍රමයන් බව විචාරකයන්ගේ මතයයි.

ඌව ප්‍රදේශය 1630 න් පසු තදබල අර්බුදයකට හා යුදමය නැගිටීමකට යොමුවන්නේ රන්දෙණිගල සටනින් සියවස්‌ දෙකකට පසුවයි. ඒ 1818 සිංහලේ ප්‍රථම නිදහස්‌ සටන් තුළිනි. ඌවේ කැරැල්ල ලෙස ඉංග්‍රීසීන් විසින් හඳුන්වනු ලබන 1818 සිංහලේ ප්‍රථම නිදහස්‌ සටන ආරම්භ වූයේ ඌව ප්‍රදේශයෙනි. එයට නායකත්වය දුන්නේ දොරේසාමි නොහොත් විල්බාවේ ලෙස හැඳින්වුණු ඌවේ පුද්ගලයකු බව සඳහන් වේ. කැරැල්ලේ නියම නායකයා වූයේ ඉංග්‍රීසීන් විසින් කැරැල්ල මැඩීමට යවන ලද කැප්පෙටිපොළයි. කැරැළිකරුවන් විසින් කැප්පෙටිපොල අල්ලා ගත් පසු එයට සම්බන්ධවී නායකත්වය දුන් බව සඳහන් වූවත් ඔහු මුල සිටම කැරැලිකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බව පසුව හෙලිවිය. කැප්පෙටිපොල යටතේ ඌවේ කැරැල්ල සබරගමු සහ මාතලේ යන ප්‍රදේaශවලටද ව්‍යාප්ත විය. කැරැල්ල දිගු කලක්‌ පැවැති අතර අවසානයේදී ඉතා දැඩි ලෙසින් මර්දනය කරන ලදී.

මුළුමනින්ම වාගේ කැරැල්ලට නායකත්වය සැපයුමේ ඌව ප්‍රදේශයයි. 1818 ජනවාරි 18 දින බ්‍රවුන්රිග් නම් ආණ්‌ඩුකාරයා විසින් කරන ලද නිවේදනයේ රාජෙද්‍රහීන් ලෙස නම් කරන කැරැලිකරුවන් 17 දෙනාගෙන් 14 දෙනෙක්‌ ඌවේ ප්‍රභූන්ය. එම කැරැලිකරුවන් 17 දෙනා මෙසේය.

කැප්පෙටිපොල දිසාව - ඌව, ගොඩගෙදර අදිකාරම් - ඌව, කැටකෑල්ලේ මොහොට්‌ටාල - ඌව, කුඩා බෙත්මේ රාළ - ඌව, මහ බෙත්මේ රාළ - ඌව, පලුගොල්ලේ මොහොට්‌ටාල - ඌව, පොල්ගහගෙදර රෙහෙනරාළ - ඌව, පොස්‌සරවත්තේ විදානේ - ඌව, වැටකැලේ මොහොට්‌ටාල - ඌව, කොහුකුඹුරේ රටේ රාළ - වෙල්ලස්‌ස, බුටාවේ රටේ රාළ - වෙල්ලස්‌ස, බගිනිගහවෙල රටේ රාළ - වෙල්ලස්‌ස, මහ බදුල්ලේ ගම්මන රටේ රාළ - වෙල්ලස්‌ස, පලුමල්හේන ගම්ඇති රාළ - වෙල්ලස්‌ස, කිවුලේගෙදර මොහොට්‌ටාල - වලපනේ, යාලගම මොහොට්‌ටාල - වලපනේ, උඩමැදුරේ මොහොට්‌ටාල - වලපනේ

මෙසේ වුවද ඌවේ නිදහස්‌ සටනට මේ 17 ට අමතරව සහභාගී වූ ඌවේ ප්‍රභූන් ගණනාවක්‌ වෙයි. ජනප්‍රවාද අනුව ඌවේ කැරැල්ලට නායකත්වය දුන් ප්‍රභූන් මෙසේය.

කැප්පෙට්‌පොල දිසාව, කොහුකුඹුරේ රටේ රාළ, නකල්ලේ රටේ රාළ, බඩල්කුඹුරේ විදානේ, වියළුවේ හාපත්ගම මොහොට්‌ටාල (ජ්‍යෙෂ්ඨ), වියළුවේ හාපත්ගම මොහොට්‌ටාල (කනිෂ්ඨ), වටකැලේ රටේ මහත්තයා, මීගහපිටියේ රටේ රාළ, ගොඩගෙදර අදිකාරම්, බින්තැන්නේ මොහොට්‌ටාල, මීගහඅරාවේ මොහොට්‌ටාල, උඩපළාත රටේරාල, බකිනිගහවෙල අදිකාරම්, කැටකෑල්ලේ මොහොට්‌ටාල, කිවුලේගෙදර මොහොට්‌ටාල, පස්‌සර විදානේ, බූටාවේ රටේ රාළ, මහබදුලු ගම්මන රටේ රාළ, රඹුක්‌පොත දිසාව, කටුගහ මොහොට්‌ටාල, තල්දෙණියේ මොහොට්‌ටාල, පොල්ගහගෙදර පිහිනරාළ, කතරගම මහබෙත්මේ, කොහුකුඹුරේ නන්නපුරාවේ රටේරාළ, අලවුමුල්ලේ රාළ, බකිණිගහවෙල මුදියන්සේ, ඊතනවත්ත දේවාලේ කපුරාළ, බද්දේගම කොඩිතුවක්‌කු මොහොට්‌ටාල, මීගහපිටියේ බෝගහගෙදර රාළ, මීගහපිටියේ පල්ලේමල්හෑවේ ගම්ඇතිරාළ, අඹගොල්ලේ රාල, ගල්කඩේ මුහන්දිරම් සටනට සහභාගී වූ නායකයන් සියල්ලම ප්‍රභූ පන්තියට අයත් නොවීය. 

ඒ බව ඔවුන්ගේ නම් වලින් පෙනීයයි. ඊට අමතරව ද්‍රවිඩ සම්මිශ්‍රණයක්‌ ඇති කිරිඅප්පු නම් පුද්ගලයෙකුද සටනට නායකත්වය දුන් අයෙකු වීම වැදගත්ය.

ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සමරවීර වීරවන්නි මහතා පැවැත්වූ දේශනයක්‌ ඇසුරින් මෙම ලිපිය සකස්‌ කරන ලදී.

0 comments:

Post a Comment