Wednesday 10 April 2013

Posted by Unknown On 07:47

Picture
දේවානම්පියතිස්ස රාජ්‍ය සමය අපේ රටේ ඉතිහාසයේ ගොඩක් වැදගත් සමයක්. අපේ රටේ ඉතිහාසයේ දේශපාලනික, ආගමික, ආර්ථික, සාමාජීය, සoස්කෘතික කියන හැම අoශයකම Turning Point එකක්, එහෙමත් නැත්නම් හැරවුම් ලක්ෂ්‍යක් මේ යුගයේ ඇති වුණා. දේවානම්පියතිස්ස කියලා අපි කිව්වට, රජ්ජුරුවන්ගෙ ඇත්ත නම ඇවිල්ලා "ගාමිණී තිස්ස". දෙවනපෑතිස් එහෙමත් නැත්නම් දේවානම්පියතිස්ස (දේවානම් ප්‍රිය, දෙවනපිය ) කියලා කියන්න ගත්තෙ ඔය අශෝක අධිරාජ්‍යයාගෙන් හම්බුනු විරුධ නාමයෙන් පස්සෙනෙ. ඉතිහාසයේ තියෙන විදිහට අශෝක අධිරාජයයි, තිස්ස රජ්ජුරුවොයි නොදුටු මිත්‍රයෝ. මේ දෙන්නා ලියුම් කඩදාසි එහාට මෙහාට යවලා මිත්‍රත්වයක් ගොඩ නගා ගත්තට මොකෝ කවදාවත් දැකලාවත්, කතා කරලවත් නෑ. ඉතින් දවසක් තිස්ස රජ්ජුරුවෝ තමන්ගෙ බෑණා කෙනෙක් වෙන "අරිට්ඨ" ඇමතියා ප්‍රමුඛ දූත පිරිසක් යවනවා, අශෝක අධිරාජ්‍යයාගේ මාළිගාවට. මේක ඇවිල්ලා රාජ්‍ය තාන්ත්‍රික සබදතාවක්. වoශ කතාවල තියෙන විදිහට නම් තිස්ස රජ්ජුරුවො මේ කණ්ඩායම ඉන්දියාවට පිටත් කළේ දේශපාලනික වශයෙන් රටවල් දෙක අතර තියෙන සම්බන්ධකම, මිත්‍රත්වය පුළුල් කර ගන්න. ඒත් අද ඉතිහාසය විශ්ලේෂණය කරන අය කියන්නෙ නම් මීට වඩා හාත්පසින්ම වෙනස් කතා වගයක්.

01. පහර දීමට පෙර යටත් වීම හෝ
02. තමන් බලවතෙක් යැයි හැගවීමට


ඔයාලා දන්නවනෙ අශෝක රජතුමා ප්‍රසිද්ධ වුණේ කාලිoග ආක්‍රමණයෙන් කියලා. අශෝක රජතුමා කියන්නෙ මෞර්ය අධිරාජ්‍යයේ තුන්වෙනි පාලකයා. අශෝකට කලින් හිටපු චන්ද්‍රගුප්ත, බිoදුසාර වගේ රජවරු ඉන්න කාලෙත් ඔය කාලිoගය තිබුණා (ඇත්තම කියනව නම් බුදුන් වහන්සේ උත්පත්තිය ලබන්නත් කලින් ඉදන්ම ). ඒත් ඉන්දියාවේ ලොකුම අධිරාජ්‍යය ගොඩ නගපු චන්ද්‍රගුප්තවත්, බිoදුසාරවත් කාලිoගය ආක්‍රමණය කරන්න ගියේ නෑ. මොකද කාලිoගය කියන්නෙ බොහොම සාමකාමී රාජ්‍යයක්. එහේ මිනිස්සු බොහොම අහිoසකයි. එයාලා තමන්ගෙ වැඩක් බලාගෙන පාඩුවේ ජීවත් වුණා. ඒ නිසා මගධයට ඒ අයගෙන් අoශු මාත්‍රයක් තරම්වත් තර්ජනයක් තිබුණෙ නෑ. ඒත් අශෝක සිoහාසනයට පත් වුණු ගමන් මගධයට යටත් වෙලා නැති, මගධය යටත් කර ගෙන නැති ඔක්කොම රාජ්‍යන් ටිකට ගහන්න ගත්තා. ගහගෙන ගහගෙන ඇවිල්ලා අශෝක නතර වෙන්නෙ කාලිoගයෙන්. ඒ පාර අශෝක කාලිoගයත් ආක්‍රමණය කරනවා. ඒ තමන්ට තිබුණු බල ලෝභීත්වය නිසා. ලෝක ඉතිහාසයේ සිදු කෙරුණු දරුණුම සටන, එහෙමත් නැත්නම් දරුණුම යුද්ධය තමයි අශෝකගේ කාලිoග ආක්‍රමණය. ඒ නිසා තමයි චණ්ඩාශෝක කියලා කියන්න ගත්තෙත්. මගධයේ ආක්‍රමණයෙන් බේරෙන්න කාලිoගයේ  
සාමාන්‍ය මිනිස්සු හිටන් ආයුධ අතට ගන්නවා. මේ යුද්ධයෙන් ලක්ෂයකටත් වඩා ජීවිත ගාණක් විනාශ වුණා. තවත් ලක්ෂයක් තුවාල ලබන කොට, තවත් දහස් ගණනක් කනවැන්දුම් වුණා. දරුවන්ට දෙමාපියෝ අහිමි වුණා. අශෝක රජ්ජුරුවො හිටන් ලොකු කම්පනයකට පත් වෙනවා. මේ යුද්ධයෙන් විනාශ වෙලා ගිය දේපල සහ ජීවිතවල වටිනාකම තක්සේරු කරන්න තියා හිතන්නවත් බෑ. මුළු ලෝකයක්ම මේකෙන් හෙල්ලුනා. මේ විනාශය අපි දකින විදිහට නම් දෙවෙනි වෙන්නෙ 1945 ජපානයට දාපු පරමාණු බෝම්බවලින් වෙච්ච විනාශයට විතරයි.

දකුණු පැත්තෙ සිතියමේ පෙන්නලා තියෙන විදිහට අශෝක මුලු උතුරු ඉන්දියාවම යටත් කර ගන්නවා. මේ විදිහේ බල ලෝභීත්වයකින් පෙලෙන අශෝක ලoකාවටත් මේ විදිහට දරුණු ආක්‍රමණයක් එල්ල කරන්න බැරි කමක් නෑ. මොකද රටවල් දෙක අතර අවම දුරත් කිලෝ මීටර් 32යිනෙ. ඒ නිසා මුලු හමුදාවම අපේ රටට එවන්නත් පුලුවන්. ඒ නිසා ඉතිහාසඥයෝ කියන විදිහට අශෝක මෙහාට ගහන්න කලින්, අපේ රට මගධය එක්ක මිත්‍රයි, මගධයට පක්ෂපාති, මගධයට උදව් කරනවා කියලා පෙන්නන්න තමයි ඒ කණ්ඩායම යවන්නෙ. ඒ කියන්නෙ පහර දීමට පෙර යටත් වීමක්.

අනිත් මතය ඇවිල්ලා තමනුත් බලවතෙක් කියලා පෙන්නන්න කියන එක. මොකද මුළු රටක් ලෝකයක්ම හොල්ලපු අශෝක වගේ බලවත් පාලකයෙක් එක්ක සම්බන්ධතා පවත්වන එකෙන්, තමනුත් ලොකු බලවතෙක් කියලා අපේ 
Picture
"අශෝක" චිත්‍රපටය
Picture
තද නිල් පැහැයෙන් දක්වා ඇත්තේ මෞර්ය අධිරාජ්‍යට යටත් වුණු ප්‍රදේශයයි
රටේ මිනිස්සුන්ටත් කියන්න පුලුවන්. දැන් මර්වින් සිල්වා වගේ කෙනෙක් එක්ක යාලු වෙලා ඉන්නවා නම්, එයාට කවුරුත් ගහන්න යන්නෙ නෑ. ගැහුවොත් වෙන දේ දන්නවනෙ. ඒ නිසා බලවත් කෙනෙක් එක්ක ඉන්න කොට, සමාජයෙන් එන්න තියෙන තර්ජන ගර්ජන අඩුයි. ඒ වගේම තමන්ටත් නිකන්ම හොද පිළිගැනීමක් ලැබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයත් රුසියාව, චීනය, ඉන්දියාව එක්කම ඉන්නෙ අන්න ඒකයි. ඒ නිසා තමයි බටහිර යුරෝපීය රටවල් වලින් මොන විදිහේ බලවේගයක් ආවත් රුසියාවෙ, චීනයේ උදව් අපිට හම්බ වෙන්නෙ. ඒ වගේ බලවත් ජනාධිපතිවරු ආශ්‍රය කරලා දැන් මහින්දත් ලෝක බලවතෙක් වෙලා. ඒ පිළිගැනීම මහින්දටත් හම්බ වෙලා.
Picture
රුසියාව
Picture
චීනය
Picture
ඉන්දියාව
ඉතින් කොහොමින් කොහොම හරි අරිට්ඨ ඇමතිවරයා එක්ක ගියපු රාජ්‍ය තාන්ත්‍රික පිරිස ඉන්දියාවේ අශෝක රජ්ජුරුවන්ව මුණ ගැහෙනවා. ඉතින් අශෝක රජතුමයි, අරිට්ඨ ඇමතියයි අතර  සoවාදයක් ඇති වෙනවා. මේ වෙලාවෙ අශෝක රජතුමා අහනවා අපේ රටේ අභිෂේක ක්‍රමය ගැනත්. ඉතින් අරිට්ඨ ඇමතිවරයත් අපේ රටේ අභිෂේක ක්‍රමය ගැන පොඩි Lecture එකක් දෙනවා. මේක අහපු අශෝක රජ්ජුරුවො මෙහෙම කියනවා. "චාහ් චාහ් චාහ් චාහ්! ඒ මොන මල කටුවක්ද ඒ..??? එහෙම නෙවේ. මෙන්න මේ රාජ කකුධ භාණ්ඩ ටික ගන්නකො. ඔයාලත් මෙහේ කරන අභිෂේක ක්‍රමය කරන්න. මේක තමයි නියම අභිෂේකය. මෙන්න මේ තුන්ඩු කෑල්ලෙ ඔක්කොම විස්තර ටික ලියලා තියෙනවා. අහ්! තව එකක්. මතක ඇතුව අභිෂේකයත් එක්ක තිස්සට කියන්න නමට ඉස්සරහින්, දේවානම්පිය කියලා කෑල්ලකුත් දාගන්න කියලා"ඒ විතරක් නෙවේ. අශෝක රජතුමා අපේ රාජ සභාවට පුරෝහිත, දණ්ඩ නායක, සෙන්පති, සිටු වගේ නිලතල කිහිපයකුත් හදුන්වලා දෙනවා. ඔන්න ඉතින් අපේ කට්ටියත් ඒ ලට්ට ලොට්ට ටික කර ගහගෙන මෙහාට එනවා. ඊට පස්සෙ තිස්ස රජ්ජුරුවෝ දෙවෙනි පාරටත් අභිෂේකය ලබනවා. හැබැයි ඒ නම් මෞර්ය අභිෂේක ක්‍රමයට. ඒත් එක්කම තිස්ස, දේවානම්පියතිස්ස වෙනවා. එදා ඉදන් හුග කාලයක් යනකන්ම මේ අභිෂේක ක්‍රමය තමයි අපේ රටේ තිබුණෙ. ඒ වගේම විරුධ නාමත් පාවිච්චි වෙන්න ගත්තා. ඔය සිරිසගබෝ වගේ.

මෙන්න මෙහෙම ඉන්න අතරෙ දේවානම්පියතිස්සට ලියමනක් හම්බ වෙනවා. ලියුම් කවරෙ ගලොවලා බැලින්නම් අශෝක රජතුමාගෙන්. ඒකෙ මෙන්න මෙහෙම සදහනක් තියෙනවා. "මම බුදුන්, දහම්, සගුන් සරණ ගියෙමි. ඔබත් ශ්‍රද්ධාවෙන් තුන් සිත පහදවාගෙන තුනුරුවණ් සරණ යන්න". ඒ ලියමනේ රජතුමා කවදාවත් අහපු නැති අසිරිමත් ආගමක් ගැන තමයි සදහන් වෙන්නෙ. ඒ ආගමේ තියෙන සත්‍යතාවය ගැන අශෝක රජතුමා පිටු ගණන් ලියලා එවලා. ඉතින් අපේ රජතුමාටත් හිතෙනවා මේ අසිරිමත් ආගම ගැන තව තවත් දැන ගන්න. ඒ තමයි බුදු දහම. මේ වෙනකොටත් අශෝක රජතුමා දිග් විජය ප්‍රතිපත්තිය අතෑරලා, ධර්ම විජය ප්‍රතිපත්තිය පටන් ගෙන තිබ්බෙ. දැන් රජතුමා හරි වෙනස්. චණ්ඩාශෝක, ධර්මාශෝක වෙලා. රජතුමා බුදු දහම වැළදගෙන ඒ වෙනුවෙන් කැපවෙලා හොදටම වැඩ. වෙහෙර විහාර නිර්මාණය කරනවා. වෙහෙර විහාර පිළිසකර කරනවා. හාමුදුරුවරුන්ට අනුග්‍රහය දෙනවා. මෙන්න මේ කාලයේ තමයි 3 වෙනි ධර්ම සoඝායනාව තියන්නෙ.
Picture
තෘතීය ධර්ම සoඝායනාව
ශ්‍රී සම්බුද්ධ පරිණිර්වාණය සිද්ධ වෙලා අවුරුදු 218කට පස්සෙ, මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, පැලලුප් නුවර අශෝකාරාමයේ, මහ රහතන් වහන්සේලා 1000කගේ සහභාගීත්වයෙන් සිද්ධ කරන මේ යෝධ ව්‍යාපෘතියට රාජ්‍ය අනුග්‍රහය දෙන්නෙ ධර්මාශෝක රජතුමා. සoඝායනාවෙන් පස්සෙ සිද්ධ වුණු ප්‍රතිඵල අතරින් වැදගත්ම ප්‍රතිඵලයක් තමයි, නව රට සසුන්ගත කිරීම. ඒ කියන්නෙ මෙතෙක් ඉන්දියාවට විතරක් සීමා වෙලා තිබුණු මේ අසිරිමත් සද්ධර්මය තවත් රටවල් 9ක ව්‍යාප්ත කිරීම. මේක අශෝක රජතුමා තුන් කල් බලලා ගත්ත හොදම හොද තීරණයක්. මොකද කාලයක් ගියායින් පස්සෙ මුස්ලිම් ආක්‍රමණත් එක්ක ඉන්දියාවෙන් මුලුමනින්ම බුදු දහම නැති වෙලා ගියත්, මේ
Picture
සසුන්ගත කෙරුණු නව රට
ව්‍යාපෘතිය නිසා ලෝකයෙන් බුදු දහම නැති වෙලා ගියේ නෑ. ඒ රටවල් ගොන්නට අපේ රටත් දැම්මා. ඊට පස්සෙ තමයි පොසොන් පුර පසළොස්වක පෝය දවසෙ අශෝක රජතුමාගේ පුත්‍රයා වුණු මහින්ද මහරහතන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, සම්භල, භද්දසාල, සුමන මහ රහතන් වහන්සේලා සහ භණ්ඩුක උපාසකවරයා එක්ක මිහින්තලා කදු මුදුනට වැඩම කරලා, දේවානම්පියතිස්ස රජතුමාව මුණ ගැහෙන්නෙ. මේ තමයි මහින්දාගමනය.

"මහ රජ අපි ධර්ම රාජ වූ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. දඹදිව් තලය කසාය වස්ත්‍රයෙන් බබළයි. තවත් මේ වගේ සෘද්ධිමත්, පරසිත් දන්නා, දිවකන් දන්නා මහ රහතන් වහන්සේලා දහස් ගණනක් දඹදිව වැඩ සිටියි".

Picture
මහින්දාගමනය (නුගේගොඩ සුභද්‍රාරාම විහාරය)
දේවානම්පියතිස්ස රජතුමා බුදුන් දහම් සගුන් සරණ ගිහින් බෞද්ධ උපාසකයෙක් වෙනවා. විජයාවතරණයෙන් පස්සෙ අපේ රටේ බුදු දහම වැළදගත්ත පළවෙනි පාලකයා තමයි දේවානම්පියතිස්ස රජතුමා. ඒ කියන්නෙ පළවෙනි බෞද්ධ උපාසකවරයා. රජතුමා බුදු දහම වැළද ගන්නවත් එක්කම රජුගේ ආගම රාජ්‍ය ආගම වෙනවා. රාජ්‍ය ආගම රට වැසියාගේ ආගම වෙනවා. රටේ අනිත් මිනිස්සු රජ්ජුරුවන්ව ආදර්ශයට අරගෙන බුදු දහම වැළදගන්නවා. අපේ රටේ උපාසක උපාසිකා සමාජය නිර්මාණය වෙනවා. 1000කට වඩා පිරිසක් සෝවන් වෙන්න වාසනාව ලබනවා. ඉතින් රජතුමා තමන්ගෙ පියා (උත්තිය රජුතුමා) නිර්මාණය කරපු මහමෙව්නා උයන සඝ සතු කරනවා.

මහින්දාගමනය ගැන ලoකාවෙන් හම්බ වෙලා තියෙන පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතරින් රජගලට විශේෂ තැනක් හිමි වෙනවා. රජගල කියන්නෙ බෞද්ධ ආරාම සoකීර්ණයක නටබුන් දකින්න පුලුවන් ඓතිහාසික පූජා භූමියක්. රජගල ප්‍රදේශයේ විදිමත් ගවේෂණයක් ආරම්භ වෙන්නෙ 2011 අවුරුද්දෙ. රජගලෙන් හම්බුනු සෙල්ලිපිවල මහින්ද සහ ඉට්ඨිය මහරහතන් වහන්සේලාගේ නම් සදහන් වෙනවා. සෙල්ලිපිවලට අනුව උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා පූජා භූමියේ චෛත්‍යයවල නිධන් කරලා තිබිලා තියෙනවා.
මහින්දාගමනයෙන් පස්සෙ මහින්ද මහ රහතන් වහන්සේගේ අධීක්ෂණය යටතේ දේවානම්පියතිස්ස රජතුමා "මහා විහාරය" නිර්මාණය කරනවා. මහින්දාගමනයත් එක්ක අපේ රටේ උපාසක උපාසිකා කියන ගිහි පිරිස නිර්මාණය වෙනවා. ටික කාලයක් ගියායින් පස්සෙ රජතුමාගේ බෑණා වෙන අරිට්ඨ ඇමතිවරයා සහ තවත් 500 දෙනෙක් පැවිද්ද ලබලා අපේ රටේ භික්ෂු ශාසනය ඇති කරනවා. මේ අතරේ අපේ රටේ කාන්තා පක්ෂයත් පැවිද්ද ඉල්ලනවා. ඒ නිසා මහින්ද මහරහතන් වහන්සේගේ අදහසකට අනුව දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවට පණිවිඩයක් යවනවා.

මෙහෙම ටික කාලයක් යනකොට දවසක් මහින්ද හාමුදුරුවො දේවානම්පියතිස්ස රජතුමාට මෙහෙම කියනවා. "රජතුමනි, අපි අපේ බුදු හාමුදුරුවන්ව හුග කාලෙකින් දැක්කෙත් නෑ. අපිට උන්වහන්සේව දැක බලා ගන්න මෙහෙ කිසිම ක්‍රමයක් නෑ නෙව". මේක අහන රජතුමා අන්ද මන්ද වෙනවා. "දැන් හුග කාලෙකට ඉස්සර බුදු හාමුදුරුවො පිරිනිවන් පෑවා කියලා, ඔබ වහන්සෙම නේද කිව්වෙ..???". ඉතින් මහින්ද හාමුදුරුවො රජතුමාට මෙහෙම උත්තර දෙනවා. "ධාතුන් වහන්සේලා දැක ගත්තොත්, බුදු හාමුදුරුවො දැක ගත්තා වගේ තමයි". ඔන්න ඉතින් අපේ රටේ චෛත්‍යයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් ඉස්මතු වෙනවා.


ඉතින් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් ගෙනත් දුන්නොත්, ඒක නිධන් කරලා චෛත්‍යයක් නිර්මාණය කරන්න රජ්ජුරුවොත් පොරොන්දුව දෙනවා. මේත් එක්කම මහින්ද හාමුදුරුවන්ගේ උපදෙස් මත සුමන සාමණේර හාමුදුරුවන්ව පිටත් කරනවා අශෝක රජ්ජුරුවන් මුණ ගැහෙන්න. ඊට පස්සෙ උන්වහන්සේ අශෝක රජතුමාගෙන් පාත්‍රා ධාතුව (බුදුන් වහන්සේ දන් වළදන්න භාවිතා කළ ) අරගෙන සෘද්ධි බලයෙන් තව්තිසාවට වැඩම කරනවා. ඊට පස්සෙ ශක්‍ර දේවේන්ද්‍රයගෙන් දකුණු අකු ධාතුන් වහන්සේ අරගෙන අපේ රටට වැඩම කරනවා.  මේත් එක්කම චෛත්‍යයේ වැඩ කටයුතු පටන් ගන්නවා. 

අන්න එහෙම නිර්මාණය වෙන චෛත්‍යය තමයි "ථූපාරාම" චෛත්‍යය කියලා කියන්නෙ. ථූපාරාමය කියන්නෙ එසේ මෙසේ තැනක් නෙවේ. මේ මහා භද්‍ර කල්පයටම විශේෂ තැනක්. සිද්ධාර්ථ ගෞතම බුදු හාමුදුරුවන්ගේ තුන්වෙනි ලoකා ගමනේදි උන්වහන්සේ ථූපාරාමය චෛත්‍යය නිර්මාණය වෙලා තියෙන තැන සමවත් සුවයෙන් වැඩ ඉදලා තියෙනවා. උන්වහන්සේගේ පරිණිර්වාණයෙන් පස්සෙ උන්වහන්සේගේ ධාතු නිධන් කරලා ඒ ස්ථානයේම ථූපාරාමය නිර්මාණය වුණා. ගෞතම බුදු හාමුදුරුවන්ට කලින් බුද්ධත්වය ලබපු කකුසද, කෝණාගම, කාශ්‍යප බුදුවරුත් මේ තැනටම වැඩම කරලා සමවත් සුවයෙන් ඉදලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේලාගේ පරිණිර්වාණයෙන් පස්සෙ ඒ ඒ බුද්ධ ශාසනවලදි, උන්වහන්සේලාගේ ධාතුන් නිධන් කරලා මේ ස්ථානයේම චෛත්‍ය නිර්මාණය වෙලත් තියෙනවා. ඒ වගේම අනාගතයේ මෛත්‍රීය බුදු හාමුදුරුවොත් මෙතැනටම වැඩම කරලා සමවත් සුවයෙන් වැඩ හිදිනවා කියලත්, උන්වහන්සේගේ පරිණිර්වාණයෙන් පස්සෙ මෙතැනම උන්වහන්සේගෙත් ධාතු නිධන් කරලා චෛත්‍යයක් නිර්මාණය වෙනවා කියලත් අපි අතරේ විශ්වාසයකුත් තියෙනවා.


ථූපාරාමය චෛත්‍යයේ වැඩ ඉවර වෙනවත් එක්කම ධාතුන් වහන්සේ තල් ගස් 7ක උසකට අහසට පැන නැගලා යමා මහ පෙළහර පානවා. එදා ධාතුන් වහන්සේගෙන් පිට වුණු ගිනි ජාලාවලින් මුලු ලoකාවම ආලෝකමත් වුණාලු. යමා මහ පෙළහර පාන්න පුලුවන් බුදුවරයාණන් වහන්සේ නමකට විතරයි. ආයිත් ධාතු පරිණිර්වාණය වෙනකොටත් මෙහෙම සිදු වීමක් වෙනවා කියලා පරණ පොත්වල සදහන් වෙනවා. මේ විදිහට ධාතුන් වහන්සේ නමක් අපේ රටේ යමා මහ පෙළහර පෑමක් සිද්ධ කරපු පළවෙනි වතාව තමයි මේ. ඒ බුද්ධ අධිෂ්ඨානයකට අනුව. 
බුදු හාමුදුරුවෝ පිරිණිවන්පාන්න යන අන්තිම වෙලාවෙදි උන්වහන්සේ අධිෂ්ඨාන 5ක් සිද්ධ කරනවා. ඒවා තමයි අවසාන බුද්ධ අධිෂ්ඨාන. ඒත් ඒ අධිෂ්ඨාන 5 සෘජුවම ලoකාවට සම්බන්ධ වීම විශේෂත්වයක්. ඒකෙන් පේනවා බුදු හාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්න කොට,උන්වහන්සේට ලoකාව ගැන බලාපොරොත්තු ගොන්නක් තිබුණා කියලා.
Picture
01. ධර්මාශෝක රජු ලoකාද්වීපයට යැවීමට ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වෙන් කිරීමට පැමිණෙන විට ශාඛාව ඉබේම වෙන් වී රන් කටාරමේ පිහිටන සේක්වා!

02. රන් කටාරමේ පිහිටි ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවේ පත්‍රවලින් සවණක් 
ඝන රැස් විහිදෙත්වා!

03. ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව රන් කටාරමද සමගින් අහසට පැන නැගී දින සතක් කිසිවෙකුටත් නොපෙනෙන සේ හිමවලා ගැබෙන් වැසී පවතිත්වා!

04. ථූපාරාම දාගැබේ මාගේ දකුණු අකු ධාතුව පිහිටුවන විට ධාතුව අහසට පැන නැගී යමා මහ පෙළහර කරත්වා!
05. රුවන්වැලි මහා දාගැබේ තැන්පත් කරන ද්‍රෝණයක් පමණ මාගේ ශාරීරික ධාතුන් පිහිටුවන විට අහසට පැන නැගී බුද්ධ වේශයක් ගෙන යමා මහ පෙළහර කරත්වා!

(නුගේගොඩ සුභද්‍රාරාම විහාරයෙන්)

මේ ආශ්චර්‍යමත් සිද්ධිය එක්ක දහස් ගණන් මිනිස්සු බුදු දහම වැළද ගන්නවා. ඒ වගේම පැවිදි වෙනවා. යමා මහ පෙළහර පාලා, රජතුමාගේ හිස මතට වැඩම කරන ධාතුන් වහන්සේව තැන්පත් කරලා, රජ්ජුරුවෝ චෛත්‍යය නිම කරනවා. මේ චෛත්‍යය වටේට රජ්ජුරුවෝ ආරාම හදනවා. ඒ නිසා මේ තැන ථූප + ආරාම (චෛත්‍යය වටේට හදපු නිසා) වෙලා ථූපාරාම වෙනවා. අදත් ඒවායේ නටබුන් දකින්න පුලුවන් (පිළිම ගෙවල්, මුර ගෙවල්, ළිo)
ථූපාරාමය අද ඔය තත්වයේ තියෙන්නෙ රජවරු සිය දහස් ගණනකගෙ ස්පර්ශය ලබලා. මේ චෛත්‍යයේ නඩත්තුවට සහ අභිවෘද්ධියට ලජ්ජතිස්ස, වසභ, ගෝඨාබය, උපතිස්ස, ධාතුසේන, 2 වෙනි අග්බෝ, 1 වෙනි දාඨෝපතිස්ස, 2 වෙනි කාශ්‍යප, 2 වෙනි දාඨෝපතිස්ස, මානවම්ම, 6 වෙනි අග්බෝ, 2 වෙනි මහින්ද, 2 වෙනි දප්පුල, 1 වෙනි සේන, 1 වෙනි උදය, 4 වෙනි මහින්ද, 1 වෙනි විජයබාහු, 1 වෙනි පරාක්‍රමබාහු, 4 වෙනි විජයබාහු වගේ පාලකයො ගොඩක් අනුග්‍රහය ලබා දීලා තියෙනවා. ථූපාරාම චෛත්‍යය කලින් තිබිලා තියෙන්නෙ ධාන්‍යාකාර චෛත්‍යයක් විදිහට. ඒත් අද නම් ඒක ඝටාකාර චෛත්‍යයක්. චෛත්‍යයේ උස අඩි 63ක් වෙනවා. චෛත්‍යය වටේට තියෙන ගල් කණුවලින්, ඒ දවස්වල වටදාගෙයක් තිබුණා කියලා හොදින් පැහැදිලි වෙනවා.

ථූපාරාමය ළගම තියෙන චෛත්‍යය, ථූපාරාමය චෛත්‍යය හැදුවායින් පස්සෙ නිර්මාණය වුණු එකක්. ඒක හදුන්වන්නෙ "පාද ලාoඡන ස්තූපය" (ථූපාරාම චෛත්‍යයේ ඇල්බමයේ 24 වෙනි පින්තූරය බලන්න) කියලා. ඉතිහාසඥයන්ගේ මතය අනුව බුදු හාමුදුරුවන්ගෙ තුන්වෙනි ලoකාගමන අවසාන කරලා, බුදු හාමුදුරුවො සෘද්ධියෙන් දඹදිවට වැඩම කළේ එතනින්. ඒ වෙලාවේ මහ පොළොවේ උන්වහන්සේගේ සිරි පතුල තිබුණු තැන කේන්ද්‍ර කර ගෙන මේ චෛත්‍යය ඉදි කළා කියලා මත පල වෙනවා. ථූපාරාමය කියන්නෙ අපේ රටේ නිර්මාණය වුණු පළවෙනි චෛත්‍යය නෙවේ. ජනප්‍රවාදයේ තියෙන විදිහට බුදු හාමුදුරුවෝ ලoකාවට වැඩම කරන්න කලින්, බුදුන් දහම් පමණක් සරණ ගියපු ප්‍රථම දේවාචික උපාසකවරු දෙන්නා (තපස්සු, භල්ලුක) බුදුන් වහන්සේගේ කේශ ධාතු නිධන් කරලා ගිරිහඩු සෑය නිර්මාණය කරනවා. බුදුන් වහන්සේගේ පළවෙනි ලoකා ගමනේදී සුමන සමන් දිව්‍යරාජයත් බුදුන් වහන්සේගෙන් කේශ ධාතු ලබාගෙන මහියoගනය චෛත්‍යය නිර්මාණය කරනවා. ඒ නිසා මහින්දාගමනයෙන් පස්සෙ අපේ රටේ නිර්මාණය වුණු පළවෙනි චෛත්‍යය විදිහට ථූපාරාමය නම් කරන එක නුවණට හුරුයි. ඒ කියන්නෙ අපේ රටේ බුදු දහම හරියාකාරව මුල් බැස ගත්තායින් පස්සෙ හදපු පළවෙනි චෛත්‍යය.

රජතුමා අර කලින් යවපු පණිවිඩය අනුව අශෝක රජතුමාගේ දියණිය (මහින්ද මහරහතන් වහන්සේගේ සහෝදරිය ), සoඝමිත්තා මහරහත් තෙරණිය, විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධියේ  දක්ෂිණ ශාඛාවත් අරගෙන, අපේ රටේ භික්ෂුණී ශාසනය පිහිටුවන්න නෞකාවකින් අපේ රටේ දඹකොළ පටුන (ජම්බකෝල පට්ටන ) ප්‍රදේශයට වැඩම කරනවා. ජය ශ්‍රී මහා බෝධිය භාර ගන්න රජතුමත් අනුරාධපුරයේ ඉදන් දඹකොළ පටුනට විශාල පෙරහැරකින් යනවා. ජනප්‍රවාදයේ තියෙන විදිහට නැව වරායට එනකන් ඉන්නෙ නැතුව, රජතුමා මුහුදට බැහැලා, කර වටක් ජලය පිරෙනකන් නැව දිහාවට ඇවිදගෙන යනවා.
Picture
දඹකොළ පටුන
Picture
දඹකොළ පටුන
බොහෝ දුරට ඒ කතාව ඇත්තක් වෙන්න පුලුවන්. යුද්ධයෙන් පස්සෙ යාපනය දිහාවෙ සoචාරය කරන්න නම් අවස්ථාවක් ලැබුණෙ නෑ. ඒත් ගියපු අය කියන විදිහට නම් දඹකොළ පටුනෙ තියෙන මුහුද ටිකක් සුවිශේෂයි. මුහුදේ රැල්ලක් නැගෙන්නෙ නැති තරම්ලු. ඒ වගේම මුහුදෙ පතුල හුගක් ඈතට යනකන් ගැඹුරු නෑලු. ඒ නිසා හුග දුරක් ඇවිදගෙන වුණත් යන්න පුලුවන්ලු. අද නම් දඹකොළ පටුනේ ඒ ඓතිහාසික සිද්ධිය සිහි වෙන්න පොඩි පන්සලකුත් හදලා.
Picture
දඹකොළ පටුන
Picture
දඹකොළ පටුන
ඉතින් මුහුදට බැහැලා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේව භාර ගන්න රජ්ජුරුවෝ, මහා පෙරහැරකින් බෝධින් වහන්සේව දඹකොළ පටුනෙ ඉදන් අනුරාධපුරයට වඩම්වනවා. මේ බෝධි වෘක්ෂය රෝපණය කරන්න රජතුමා තෝරා ගන්නෙ, මහමෙව්නා උයන. රජතුමා බෝධීන් වහන්සේව මහමෙව්නා උයනට වඩම්වන කොට බුද්ධ අධිෂ්ඨානයකට අනුව තවත් අසිරිමත් සිදුවීමක් වෙනවා. බෝධීන් වහන්සේ කටාරම පිටින් ඉහළට පැන නැගලා, බෝධින් වහන්සේ වටේට වළාකුළු වලින් පිරෙන්න ගන්නවා. මේ විදිහට දවස් හතක් වළාකුළු වලින් වැහිලා තියෙනවා. ඉතින් රජතුමාට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා මොකක්ද මේ වෙන්නෙ කියලා. රජතුමා මේක මහින්ද හාමුදුරුවන්ගෙන් අහනවා. "හා හා රජතුමනි. කලබල වෙන්න එපා. බෝධීන් වහන්සේ අහසට පැන නැගිලා වළාකුළු වලින් වට වෙලා තියෙන්නෙ තවත් බුද්ධ අධිෂ්ඨානයකට අනුව. එහෙම අධිෂ්ඨානයක් සිද්ධ කරලා තියෙන්නෙ දෙවියන් සහ බ්‍රහ්මයන්ට බෝධීන් වහන්සේව වන්දනා කරන්න අවස්ථාවක් ලබා  දෙන්න". මහින්ද හාමුදුරුවො උත්තර දෙනවා. දවස් 7කට පස්සේ බෝධීන් වහන්සේ ඉබේම පොළෝ තලයට වැඩම කරනවා. ඊට පස්සෙ තමයි රජතුමාට බෝධීන් වහන්සේව රෝපණය කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ. බෝධින් වහන්සේව රෝපණය කරනවාත් එක්කම බෝ පත්‍ර වලින් සවණක් ඝන බුදු රැස් විහිදෙන්න ගන්නවා. අන්න ඒ පුoචි බෝ පැළය තමයි අද අනුරාධපුරේ මහමෙව්නා උයනේ විරාජමානව වැඩ ඉන්නෙ.
Picture
(කැළණිය රජමහා විහාරයෙන්)
Picture
(නුගේගොඩ සුභද්‍රාරාම විහාරයෙන්)
Picture
(නුගේගොඩ සුභද්‍රාරාම විහාරයෙන්)
Picture
(බෙල්ලන්විල රජමහා විහාරයෙන්)
Picture
(නැදිමාල ශ්‍රී මහා විහාරයෙන්)
Picture
(බෙල්ලන්විල රජමහා විහාරයෙන්)
Picture
(බෙල්ලන්විල රජමහා විහාරයෙන්)
Picture
(බෙල්ලන්විල රජමහා විහාරයෙන්)
විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධිය අපිට වැදගත් වෙන්නෙ සිද්ධාර්ථ තාපසතුමාට බුද්ධත්වය ලබා ගන්න පිට දීපු, සේවන දීපු ගහක් නිසා. සිද්ධාර්ථ ගෞතම බුදු හාමුදුරුවෝ තුන් ලෝකෙටම අග්‍ර වෙලා, සම්මා සම්බුද්ධත්වය ලබා ගන්නෙ මේ ගහ යට භාවනා කරලා. ඒ වගේම ඉන්දියාවේ තිබ්බ ශ්‍රී මහා බෝධීන් වහන්සේ, අශෝක රජතුමාගේ බිසවක් විනාශ කරලා දානවා. ඒ නිසා අද එදා තිබ්බ ඒ බෝධීන් වහන්සේ නම් දකින්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා අපේ මහමෙව්නා උයනේ වැඩ ඉන්න ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කරපු දිනයක් සහිත ලෝකයේ පැරණිම වෘක්ෂය හැටියට නම් කෙරෙනවා.

අනුරාධපුර අටමස්ථානවලින් එකක් වෙන ශ්‍රී මහා බෝධිය වැඩ සිටින ප්‍රදේශය ළගින්ම තියෙන්නෙ ලෝවමහාපායයි. ක්‍රි.පූ 246දි තමයි අපේ රටට ශ්‍රී මහා බෝධිය වැඩම වීම සිද්ධ වෙන්නෙ. ශ්‍රී මහා බෝධිය අවුරුදු 2300කටත් වැඩි කාලයක් තිස්සෙ විදේශීය ආක්‍රමණවලින් ආරක්ෂා වුණා. ඒක තමයි  ශ්‍රී මහා බෝධියේ තියෙන ආශ්චර්ය. 1985 LTTE ප්‍රහාරයෙනුත් බෝධින් වහන්සේ ආරක්ෂා වුණා.
අශෝක රජතුමා අපිට ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක් දීලා නිකන් හිටියෙ නෑ. බෝධියේ ආරක්ෂාවට සoඝමිත්තා මහරහත් තෙරණියත් එක්කලා ආරක්ෂක මණ්ඩලයක් එවනවා. ඒ අය බෝධිය රෝපණය කළායින් පස්සෙ අපේ රටේම නතර වෙනවා. ඒ අයව හදුන්වන්නෙ "නීලමක්කාර පරම්පරාව" කියලා. ඒ අයගේ රාජකාරිය වුණේ පරම්පරාවෙන් පරම්පරාවට, පාරම්පරිකව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආවතේව කටයුතු සිද්ධ කිරීම. ඒ පරම්පරාව අදත් ඉන්නවා කියලා කිව්වොත් සමහරක් විට ඒක ඔයාලා පුදුම වෙයි (වම් පැත්තේ වීඩියෝ දර්ශනය බලන්න ) 
ඒ වගේම භික්ෂු පරම්පරාවකටත් ශ්‍රී මහා බෝධියේ භාරකාරත්වය පවරනවා. අද වුණත් ශ්‍රී මහා බෝධින් වහන්සේව වන්දනාමාන කරන්න ගියාම, වට පිටාවෙ තියෙන නටබුන් වලින් ප්‍රෞඩ ශිෂ්ටාචාරයක්, ඒ කාලයේ ශ්‍රී මහා බෝධිය කේන්ද්‍ර කර ගෙන තිබුණාය කියලා හිතන්න පුලුවන් ප්‍රබල සාධක දකින්න පුලුවන්. ටික කාලයක් යන කොට ශ්‍රී මහා බෝධින් වහන්සේ කේන්ද්‍ර කර ගෙන ලොකු සoස්කෘතියක් ආරම්භ වෙනවා. නානුමුර මoගල්‍ය, පරණ අවුරුදු මoගල්‍ය, අලුත් අවුරුදු මoගල්‍ය, කාර්තික මoගල්‍ය, අලුත් සහල් මoගල්‍ය, තේවාව, පෙරහැර ඒවාට හොදම උදාහරණ විදිහට ගන්න පුලුවන්. බෝධීන් වහන්සේ අපේ මිනිස්සුන්ට ගොඩක් සමීප වෙනවා. අපේ මිනිස්සුත් බෝධීන් වහන්සේව පණ වගේ ආරක්ෂා කරන්න ගන්නවා.
ඒ වගේම දේවානම්පියතිස්ස රජතුමාගේ බිසව වුණු අනුලා දේවිය සහ තවත් කාන්තාවො 500ක්, සoඝමිත්තා මහරහත් තෙරණිය යටතේ පැවිද්ද ලබනවා. මේත් එක්කම අපේ රටේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වනක් පිරිස සම්පූර්ණ වෙනවා. දේවානම්පියතිස්ස රජතුමත් අපේ රටේ හාමුදුරුවරුන්ට සිව්පසයෙන් උපස්ථාන කරනවා. මිහින්තලයේ චේතියගිරි විහාරය නිර්මාණය කරලා හාමුදුරුවන් වහන්සේලාට බණ භාවනා කරන්න ලෙන් 68ක් පූජා කරනවා. ඒ වගේම පඨමක චෛත්‍යය, උපාසිකා විහාරය, හත්ථාල්හක විහාරය, නිවත්තක විහාරය, මහාපාලි දාන ශාලාව, පාචීනාරාමය, නාගදීප විහාරය වගේ තවත් වෙහෙර විහාර කරවනවා. මිස්සක පව්ව වටේටත් ආරාම ගොඩක් නිර්මාණය කරනවා.

අනුරාධපුරයේ රන්මසු උයන (මගුල් උයන ) ළග තියෙන ඉසුරුමුණි විහාරයත් දේවානම්පියතිස්ස රජතුමාගේම විහාර කර්මාන්තයක්. මුල් කාලයේ දන්ත ධාතුන් වහන්සේ මේ විහාරයේ තැන්පත් කළා කියලත් සමහරක් තැන්වල කියවෙනවා. මේ විහාරය ගොඩක්ම ප්‍රසිද්ධ කැටයම්වලට. ඒත් ඒ කැටයම් නම් පස්සෙ කාලෙක නිර්මාණය වුණ එව්වා.
ඒ වගේම ඉසුරුමුණි විහාරයයි, තිසා වැවයි ළග තියෙන වෙස්සගිරියත් දේවානම්පියතිස්ස රජතුමාගේ අනුග්‍රහයෙන් ඉදි වුණු ආරාමයක් කියලා හදුන්වනවා. අපේ රටෙන් හොයා ගත්තු පරණම සෙල්ලිපි දෙකෙන් එකක් වෙස්සගිරියේ තියෙනවා. මෙව්වා ක්‍රි.පූ 3 වන සියවසේ කොටපුවා. වෙස්සගිරියේ භික්ෂූන් වහන්සේලා 500 නමක් ගල් ගුහාවල භාවනා යෝගීව වැඩ ඉදලා තියෙනවා.

මේ භික්ෂූන් වහන්සේලා 500ම වෛශ්‍ය කුලයේ (වෙළද කුලයෙන්) අය. ගිරි කියන්නෙ පර්වතවලට. ඒ නිසා,

වෛශ්‍ය + ගිරි = වෛශ්‍ය ගිරිය = වෙස්සගිරිය 
වෙනවා. 

ඒත් මේ ආරාමයේ ඉතිහාසය මහා රාවණා රාජ්‍ය සමයටත් වඩා ඈත අතීතයකට යනවා කියලත් අප්‍රසිද්ධ මතයක් ගොඩ නැගෙමින් පවතිනවා. ඒ අය කියන විදිහට නම් මෙතන අවුරුදු 8000කට විතර කලින් ඉදලා තියෙන්නෙ වෛශ්‍රවණ (වෙසමුණී) රජ්ජුරුවො. ඒ කියන්නෙ මහා රාවණා රජතුමාගෙ පියා. ඒ අය කියන විදිහට නම්,
වෛශ්‍රවණ + ගිරිය = වෛශ්‍රවණ ගිරිය = වෙස්සගිරිය 
වෙනවා.

මේ විහාරයට වසභ, වෝහාරිකතිස්ස, මහා කාශ්‍යප, ජෙට්ඨතිස්ස, 4 වෙනි මහින්ද වගේ රජවරුත් අනුග්‍රහය දක්වලා තියෙනවා.
Picture
දවසක් මහින්ද හාමුදුරුවොත් දේවානම්පියතිස්ස රජතුමත් අතර මෙහෙම සoවාදයක් ඇති වෙනවා. 
මහින්ද හිමි ;- රජතුමනි, මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ සිවු බුදුරජාණන් වහන්සේලා විසින්ම සේවණය කරන ලද මේ උතුම් පුණ්‍ය භූමිය මත ද්‍රෝණයක් පමණ ධාතු නිධන් කරමින් එකසිය විසි රියන් උස ස්වර්ණමාලී නාමයෙන් ප්‍රකට 
වන පූජනීය චෛත්‍යයක් මේ පුණ්‍ය භූමිය මත ඉදිවෙනවා

රජතුමා ;- එහෙනම් හාමුදුරුවනේ ඒකත් මම කරන්නම් 

මහින්ද හිමි ;- ඔබතුමාට තවත් පිoකම් ගොඩක් කරන්න තියෙනවා. මේ මහා චෛත්‍යය ඉදි කරන්න පෙරුම් පුරාගෙන ඉන්න මහා පිoවන්ත කෙනෙක්, ඔබතුමාගේ මුණුබුරෙක් වෙලා ඉපදිලා, මේ චෛත්‍යය කරනවා.

රජතුමා ;- මගේ මුණුබුරෙක් කරනවා නම්, මම කළා හා සමානයි

ඉතින් මහින්ද හාමුදුරුවන්ගේ උපදෙස් අනුව ඒ විස්තර සෙල් ටැඹක කොටලා අනාගතයේ චෛත්‍යය ඉදි වෙන්න යන ප්‍රදේශයේ තැන්පත් කළා. ඒ වගේම රන්පත් තීරුවලත් ඒ ඒ දේවල් ලියලා, කරඩුවල තැන්පත් කරලා, මාළිගාවෙ ගබඩා කරනවා.


මේ අතරේ රජතුමා තිසා වැවත් නිර්මාණය කරන්න ගන්නවා. තිසා වැව කියලා කියන්නේ අනුරාධපුරයේ වැව් වලින් ඉදිරියෙන්ම තියෙන වැවක්. ආර්යය වoශික රජවරුන්ගෙන් වැවක් නිර්මාණය කරපු දෙවැනි / තුන්වෙනි පාලකයා තමයි දේවානම්පියතිස්ස රජතුමා. ඉස්සර කාලයේ රජවරු අභිෂේක උත්සවය සිද්ධ කළේ තිසා වැව ළග, තිසා වැවේ වතුරෙන්. ශ්‍රී මහා බෝධියේ ආවතේව කටයුතු වලටත් ගන්නෙ තිසා වැවේ වතුර විතරයි. ඒ සම්ප්‍රදාය නම් අදත් නොනවත්වාම කර ගෙන එනවා. වලස් වැවත් රජතුමාගෙම නිර්මාණයක්. මේ නිසා අපේ රටේ කෘෂි කර්මාන්තය දියුණු වෙනවා. තාම්‍රලිප්ත සහ දඹකොළ පටුන වරායන් අතර තියෙන වෙළද කටයුතු මේ කාලයේ ගොඩක් දියුණු වෙනවා. ගෝකණ්ණ, මාතොට වගේ වරායන්වලත් මහා පරිමාණයෙන් වෙළදාම් කෙරෙනවා. 

ඒ වගේම සoඝමිත්තා තෙරණියත් එක්ක අපේ රටට ආපු 18 කුලයක පිරිස නිසා අපේ රටේ සoස්කෘතියෙත් දියුණුවක් ඇති වෙනවා. 18 කුලයක පිරිසක් කියලා කිව්වට, මේ අය එක එක ශිල්ප  ශ්‍රේණිවලට දක්ෂකම් කියන රාජකීය පිරිසක්. ඉස්කෝලෙ යන කාලයේ මහින්දාගමනය නිසා අපේ රටට වුණු ප්‍රතිඵල ගැන ලැයිස්තුවක් හදන්න කිව්වොත් බුදු දහම, ශ්‍රී මහා බොධිය ලැබීම කියන කාරණාවලට අමතරව, අපි මෙහෙමත් ලියනවා.

* අක්ෂර කලාවක් ලැබීම
* චිත්‍ර කලාව ලැබීම
* කැටයම් කලාවක් ලැබීම
* ගෘහ නිර්මාණ කලාවක් ලැබීම
* මූර්ති කලාවක් ලැබීම

ඔන්න ඔය වගේ දිගට දිගට ලියනවා. හැබැයි මේවායේ ඉස්පිලි පාපිලි හදා ගන්න වෙනවා. අක්ෂර කලාවක් ලැබීම කියන කරුණ ගමුකො. අපේ රටට අක්ෂර කලාව ලැබෙන්නෙ මහින්දාගමනයෙන් පස්සෙ නෙවේ. මහින්දාගමනයට කලිනුත් අපිට අක්ෂර කලාවක් තිබුණා. දේවානම්පියතිස්ස රජතුමා, ධර්මාශෝක අධිරාජ්‍යයාට ලිපියක් යැව්වා කියලත් සදහන් වෙනවනෙ..??? ඒ නිසා මේ අක්ෂර කලාව කියන එක "ක්‍රමවත් අක්ෂර කලාවක්" කියලා පොඩ්ඩක් හදා ගන්න ඕන. මහින්දාගමනයෙන් පස්සෙ අපේ රටේ පාවිච්චි වෙන්න ගන්නෙ දඹදිව අක්ෂර කලාව. ඊ ළගට මහින්දාගමනයට කලින් ඉදන්ම අපේ රටේ චිත්‍ර, කැටයම්, මුර්ති, ගෘහ නිර්මාණ කලාවන් තිබිලා තියෙනවා. ඒ නිසා ඒවා මෙන්න මෙහෙම නිවැරදි වෙන්න ඕන. 

* කැටයම් කලාව දියුණු  වීම  
* ගෘහ නිර්මාණ කලාව දියුණු වීම
* මූර්ති කලාව දියුණු වීම
* චිත්‍ර කලාව දියුණු වීම


මොකද මහින්ද හාමුදුරුවො අපේ රටට වැඩම කළාම, දේවානම්පියතිස්ස රජතුමා උන්වහන්සේට නවාතැන් ගන්න ලෑස්ති කරන්නෙ කාලකාරාමය. ඒ තමයි අපේ ගෘහ නිර්මාණ කලාව. කැටයම්, මුර්ති, චිත්‍ර කලාවන්. මහින්දාගමනයත් එක්ක එව්වායෙ දියුණුවක් ඇති වෙනවා. ඒ අය අපේ අයටත් එව්වා පුරුදු කරනවා. අපේ අය ඒ අයගෙ ක්‍රමේට මෙව්වා පුරුදු පුහුණු වෙලා, අපේ විදිහට කරන්න ගන්නවා. ඒකෙන් අපිට අනන්‍යතාවයක් තියෙන නිර්මාණ බිහි වෙනවා. අහස් ගැඹ සිඹ ගෙන ඉන්න, කොත් කැරලි වලින් යුක්ත සුදෝ සුදු දාගැබ්, මෛත්‍රීය කරුණාව විදහා දක්වන බුදු පිළිම නිර්මාණය වෙන්න ගන්නවා. 

ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන සoකල්පයත් මේ යුගයේ ඇති වුණු එකක්. අදත් මේ සoකල්පය අපේ රටේ අතරින් පතර තියෙනවා. ඒ වගේම අපේ සoස්කෘතියට සැරසිලි, බෞද්ධ පෙරහැර, තොරණ් වගේ දේවල් ඇතුළත් වෙනවා. දැහැමි ආර්ථික රටාවක් ගොඩ නැගෙනවා. මේ කරුණු සමාලෝචනය කළාම, මේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමය අපේ රටේ කොච්චර වැදගත් කාල පරිච්ඡේදයක් වුණාද කියලා පැහැදිලි වෙනවා. මේ විදිහට අවුරුදු 40ක් දේවානම්පියතිස්ස රජතුමා රට පාලනය කරනවා.

ඊට පස්සෙ රජතුමාගේ සහෝදරයෙක් වුණු 
උත්තිය කුමාරයා රටේ පාලනය භාර ගන්නවා. රජතුමා අවුරුදු 10ක් රට කරවනවා. මේ කාලයෙ මහින්ද මහ රහතන් වහන්සේගෙයි, සoඝමිත්තා තෙරණින් වහන්සේගෙයි පිරිණිවන්පෑම සිද්ධ වෙනවා. දේවානම්පියතිස්ස රජතුමාගේ අභාවයෙන් අවුරුදු 8කට පස්සෙ තමයි මහින්ද මහරහතන් වහන්සේගේ පිරිණිවණ්පෑම සිද්ධ වෙන්නෙ. ඉතින් රජතුමා සතියක් පුරාවට උන්වහන්සේගේ දේහයට පූජා පවත්වලා මිහින්තලයේ අම්බස්ථල චෛත්‍යයේ ධාතු නිධන් කරනවා. තවත් ධාතු කොටසක් රජගල නිධන් කරනවා. මේ සිදුවීමෙන් අවුරුද්දකට පස්සෙ සoඝමිත්තා මහරහත් තෙරණියගේ පිරිණිවන්පෑම සිද්ධ වෙනවා. එතකොට තෙරණින් වහන්සේට වයස අවුරුදු 79යි. තෙරණින් වහන්සේගේ ධාතු නිධන් කරලා, උත්තිය රජතුමා සoඝමිත්තා ස්තූපය නිර්මාණය කරනවා. ඒක තියෙන්නෙ ථූපාරාමය කිට්ටුවමයි.
දේවානම්පියතිස්ස චරිත කතාව ඉවර කළත් මහින්දාගමනය ගැන තව දුරටත් සාකච්ඡා කරන්න අදහස් කළා. අපේ රටට බුදු දහම ඇවිත් බොහොම කෙටි කාලයකින් මුළු රට පුරාම ව්‍යාප්ත වුණා. හරියට රැයක් එළිවෙලා උදේ වරුව උදා වෙනකොට වගේ. මේකට කාරණා කිහිපයක් බලපාලා තියෙනවා.

01. දේවානම්පියතිස්ස රජු බුදු දහම වැළද ගැනීම
02. බුදු දහමට රාජ්‍ය අනුග්‍රහය ලැබීම
03. අවිහිoසාවාදී ආගමක් වීම
04. සoවිධානාත්මක ආගමක් වීම
05. භික්ෂු භික්ෂුණී ශාසනයක් තිබීම
06. ධර්ම දූතයන් වහන්සේලාගේ කැපවීම
07. බෞද්ධ වෙහෙර විහාර ඉදි වීම
08. ශ්‍රී මහා බෝධිය වැඩම වීම
09. ගිරි, වන, ජල දුර්ග වලින් අවම රටක් වීම


මහින්ද හාමුදුරුවො මිහින්තලා කන්දෙදි රජතුමාට ධර්මය දේශනා කරලා, එතුමාව බෞද්ධයෙක් කරනවා. දැන් රජතුමාගේ ආගම බුද්ධාගම. ඊට පස්සෙ රජතුමාගේ ආගම රාජ්‍ය ආගම වෙනවා. ඊටත් පස්සෙ රාජ්‍ය ආගම, රට වැසියාගේ ආගම වෙනවා. මොකද රටේ පාලකයගෙ අඩි පාරෙ තමයි මිනිස්සුත් යන්නෙ. පාලකයා නිවැරදි මාර්ගයෙ ගියොත් මෙහෙමයි. වැරදි මාර්ගයෙ ගියොත් එහෙමයි. රජතුමා බුදු දහම වැළදගෙන මේ උත්තරීතර ධර්මය රට පුරා ව්‍යාප්ත කරන්න අනුග්‍රහය දෙනවා. මහ මෙව්නාව සඝ සතු කරලා, සිවුපසයෙන් භික්ෂූන්ට උපස්ථාන කරලා, වෙහෙර විහාර හදන්න ගත්තා. 

බුදු දහම කියන්නෙ හරිම ගැඹුරු ධර්මයක්. හැබැයි සරලයි. අවිහිoසාවාදියි. ඒ නිසා රට වැසියට බරක් වුණේ නෑ. බලෙන් කා වැද්දීමක් නෑ. අපිට කැමති නම් බුදු දහම අතෑරලා යන්න පුලුවන්. නැත්නම් ප්‍රතික්ෂේප කරන්න පුලුවන්. දේව නියමයක් නෑ. ඒ නිසා අපිට ඕනෑම තැනකදි ධර්මය ගැන ප්‍රශ්න අහන්න පුලුවන්. සිතීමේ සහ විමසීමේ නිදහස තියෙනවා. අන්න ඒක තමයි බුදු දහමේ තියෙන, අනිත් ආගම්වල නැති විශේෂත්වය. මේ නිසා මිනිස්සු බුදු දහම කෙරෙහි පැහැදෙන්න ගත්තා.

ඒ වගේම බුදු දහම අපේ රටට එනකොට, බුදු දහමට අභියෝග කරන්න පුලුවන් කිසිම ආගමක් අපේ රටේ තිබුණෙ නෑ. අපි "ප්‍රාග් බෞද්ධ යුගය" ලිපියේ මේ ගැන සාකච්ඡා කළා. එව්වා සoවිධානාත්මක නෑ. ස්ථාවර නෑ. කිසිම හරයක් නෑ. ප්‍රාථමිකයි. ඒ නිසා බුදු දහම නිදහසේ වේගයෙන් රට වටේ ප්‍රචාරය වෙන්න ගත්තා. අපේ රටේ පැවිදි සමාජයක් නිර්මාණය වුණායින් පස්සෙ, ඒ අය අව්ව, වැස්ස, රෑ, දවල් බලන්නෙ නැතුව කැපවීමෙන්, ඕනෑකමින් ධර්ම දූත සේවයේ නිරත වුණා.

මේත් එක්කම ගම් නියම්ගම්වල බෞද්ධයෝ බිහි වෙන්න ගත්තා. වෙහෙර විහාර ඉදි වුණා. ජනතා සහයෝගය සහ රාජ්‍ය අනුග්‍රහය මෙව්වට ලැබෙන්න ගත්තා. කලින් අපි කිව්වා වගේ බෞද්ධ ආකල්ප ව්‍යාප්තියට "ගමයි පන්සලයි වැවයි දාගැබයි" සoකල්පය ඔස්සේ බුද්ධාගම අපේ රටේ ජාතික ආගම වෙනවා.


අපේ රටේ මිනිස්සු මහින්දාගමනය වෙනකොටත් එක එක ඇදහිලි සහ විශ්වාස අනුව ජීවත් වුණු කොටසක්. ඉතින් එක පාරටම බුදු දහම වැළද ගන්න කියලා, මහින්ද හාමුදුරුවො කියන්න ගියේ නෑ. ඒ අය වෘක්ෂ වන්දනාවේ යෙදුනා. ඉතින් ඒ වෘක්ෂ වන්දනාවට නව අර්ථකතනයක් එක් කරලා ශ්‍රී මහා බෝධිය රෝපණය කරනවා. ඊට පස්සෙ ඒ බෝධින් වහන්සේගෙන් හට ගත්ත අෂ්ඨ ඵල රූප, දෙතිස් ඵල රූප, සමසතලිස් බෝධීන් වහන්සේලා රට පුරා රෝපණය කරනවා. යථාර්තය නොදැන ඔහේ ගස්වලට වන්දනාමාන කර කර හිටිය මිනිස්සු, යතාර්තය දැනගෙන තේරුමක් ඇතුව බෝධි වන්දනයේ නිරත වෙන්න ගන්නවා. ඔන්න ඔහොම ටිකෙන් ටික අපේ රටේ බෞද්ධ ශිෂ්ටාචාරයක් නිර්මාණය වෙනවා.

ලoකාව කියන්නෙ ඉන්දියාවෙන් 60 ගුණයකටත් වඩා පුoචි රටක්. ඉන්දියාව පුරා බුදු දහම ව්‍යාප්ත වුණේ නැතත්, ලoකාව පුරා බුදු දහම ක්ෂණිකව විකාශය වෙනවා. ඉන්දියාවෙ තරම් ලොකු ජල දුර්ග, වන දුර්ග, ගිරි දුර්ග, කාන්තාර අපේ රටේ නෑ. ඒ නිසා ධර්ම දූත කණ්ඩායම්වලට කිසිම බාධාවකින් තොරව ඒ කටයුතුවල නිරත වෙන්න පුලුවන් වුණා. අන්තිමට මහා විහාරය, අභයගිරිය, ජේතවනාරාමය වගේ ආයතනත් කරට කර හැප්පෙමින් බෞද්ධ අධ්‍යාපනය ලෝකයටම බෙදන්න ගන්නවා. ඒ නිසා අධ්‍යාපනයේ වගේම ශාසනයෙත් තරගයක් ඇති වෙනවා. මේ තරගකාරීත්වයත් බුදු සසුනේ චිරස්ථිතියට බලපානවා.
Picture
ඒ වගේම බුදු දහමෙන් අපේ සoස්කෘතියේ ලොකු වෙනසක් වුණා. අර කලින් අපි සදහන් කරපු ක්‍රමවත් අක්ෂර කලාවක් ලැබීම, චිත්‍ර කලාව දියුණු වීම, කැටයම් කලාව දියුණු වීම, මුර්ති කලාව දියුණු වීම, ගෘහ නිර්මාණ කලාව දියුණු වීම කියන කරුණු කාරණා වලට අමතරව ඒ මාතෘකාවට මෙන්න මේ කාරණා ටිකත් ඇතුල් කරන්න පුලුවන්.

01. සමාජීය ඒකාබද්ධතාවයකට මග පෑදීම
02. සදාචාර සම්පන්න සමාජයක් බිහි වීම
03. සoවිධානාත්මක ආගමක් ලැබීම
04. නීතිගරුක ධාර්මික පාලකයන් බිහි වීම
05. භාෂා සාහිත්‍යයේ ආරම්භය
06. ඓතිහාසික සම්ප්‍රදායක් ලැබීම


අපේ රටේ ජාති ආගම් කුල මල භේද නිර්මාණය වුණේ නැත්තෙ බුදු දහම නිසයි. බුදු දහම අපේ රටට ආවයින් පස්සෙ ධාර්මික රැකි රස්සාවලට නෑඹුරු වෙන සමාජයක් නිර්මාණය වුණා. දෑතේ දෙපයේ වෙර වීර්යය යොදලා කෘෂි කර්මාන්තයේ යෙදුනා. පoච ශීල ප්‍රතිපදාව නිසා අපේ මිනිස්සු නොමගට යන එක නැවතුනා. අදුරේ හිටපු මිනිස්සුන්ට ආලෝකයට ඇවිල්ලා විමුක්තිය ලබා ගන්න පුලුවන් වුණා.  අපේ රටේ රාජ්‍ය පාලනය නිර්මාණය වෙනකොටත් බුදු දහම මූලික වෙනවා. දස රාජ ධර්ම, දස සක්විති වත්, සතර සoග්‍රහ වස්තු, සප්ත අපරිහාණී ධර්ම, පoච ශීලය, සතර බ්‍රහ්ම විහරණ, සතර අගතියෙන් තොරවීම වගේ ඉගැන්වීම් නිසා පාලකයා ජනතාවගේ ප්‍රසාදයට ලක් වෙන්න ගන්නවා. මහින්දාගමනයෙන් ලැබුණු ක්‍රමවත් අක්ෂර මාලාව නිසා ලේඛන කලාව දියුණු වෙනවා. බුත්සරණ, අමාවතුර, ලෝවැඩ සගරාව, සද්ධර්මරත්නාවලිය, සුභාශිතය වගේ ගද්‍ය සහ පද්‍ය කෘති නිර්මාණය වෙන්නෙ ඒ උත්තරීතර දායාදය නිසයි.

මහින්දාගමනයත් එක්ක අපේ රටටම අනන්‍ය වුණු සම්ප්‍රදායක් නිර්මාණය වෙනවා. පීතෘ මූලික ජන සමාජයක් ගොඩ නැගෙනවා. වැඩිහිටි ගෞරවය සහිත , සාරධර්ම සහ ගුණධර්මවලින් යුක්ත වටපිටාවක් නිර්මාණය වෙනවා. ශ්‍රී මහා බෝධිය, දළදා වහන්සේ කේන්ද්‍ර කර ගෙන ජන සමාජයක් සහ ජන සoස්කෘතියක් නිරමාණය වෙනවා. සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර අපිට ලැබෙනවා.

මහින්ද මහරහතන් වහන්සේ මේ විදිහට අපේ රටට කරපු මෙහෙවර නිසා තමයි අපේ අය උන්වහන්සේව, බුදුන් වහන්සේට පමණක් දෙවෙනි කොට (අනුබුදු ) සළකන්නෙ. සoඝමිත්තා තෙරණියගේ උපකාරයත්, මේ කර්තව්‍ය සාර්ථකව කර ගන්න මහින්ද හාමුදුරුවන්ට ලොකු පිටුවහලක් වුණා
.
Picture
Picture

අමතර කරුණක් දෙකක්

01. රාජ්‍යත්වය
උත්තිය රජතුමාගෙන් පස්සෙ අනුරාධපුර රාජධානි
යේ රජතුමාගේ පුත්‍රයා වුණු මහාසිවත්, මහාසිවගෙන් පස්සෙ එයාගේ පුත්‍රයෙක් වුණු සූරතිස්සත් රජකම් කරනවා. සූරතිස්ස රජතුමාගේ කාලයේ ඉන්දියාවෙන් අපේ රටට අශ්ව වෙළදාමේ ආපු සේන සහ ගුත්තික කියලා දෙන්නෙක් රජතුමාව එළවලා අපේ රටේ බලය අල්ල ගන්නවා.


02. ඉසුරුමුණිය කෞතුකාගාරය

03. සිත දියුණු කළ කාන්තාව ථූපාරාමයේ ධාතුන් ගැන කී කතාව
04. ශ්‍රී මහා බෝධි මූලයේ දර්ශන වුණු බුදුන් වහන්සේගේ රූපය

0 comments:

Post a Comment