ගියපාර රාජාවලිය ලිපිය අපි නතර කළේ පස්වන කාශ්‍යප රජතුමා රජ උනා කියල නේ. මේ රජතුමා දැහැමිව රට පාලනය කරපු හොඳ රජ කෙනෙක්.
ඔය කාලෙදි අපේ අසල්වැසි ඉන්දියාවේ සොලීන් සහ පාණ්ඩ්‍යයින් අතර සටන් ඇවිලිලා තිබුනලු. සොලීන්ගේ පහර දීම හමුවේ අසරණ වෙච්ච පඬි රජතුමා අපේ කාශ්‍යප රජුගෙන් ආධාර ඉල්ලීමේ ප්‍රතිඵලයක් හැටියට ලංකාවෙන් හමුදාවක් පාණ්ඩ්‍යයින්ගේ සහයට යවනවා. මේ හින්දා උද්දාමයට පත්වෙන පඬි රජතුමා පඬි සහ ලක් සේනා දෙකම එකතු කරගෙන චෝලයින් ඉදිරියට යනවා. වෙල්ලූර් වලදී දෙපිරිස මුණ ගැහිලා ඉතාමත් දරුණු සටනක් අරඹනවා. මේ වෙලාවේදී අවාසනාවකට ලක් සේනාවට වසංගත රෝගයක් වැළඳිලා එක එකා මිය යන්න පටන් ගන්නවා. මේ බව අසා දුක් වෙන කාශ්‍යප රජතුමා ඉතිරි සෙබළුන් වහාම ලක්දිවට ගෙන්වා ගන්න වග බලා ගන්නවා. වෙල්ලූර් සටන ජය පරාජයක් නැතුවම අවසන් උන බවයි කියවෙන්නේ.
ක්‍රි. ව. 939 දී පස්වන කාශ්‍යප රජතුමා මිය ගියාට පස්සේ රජකම ලැබෙන්නේ ඔහුගේ පුත්හතරවන දප්පුල රජතුමාට (ක්‍රි. ව. 939 - 940). ඒත් එයින් මාස 7 කට පස්සේ ඔහු මිය ගිය නිසා ඉන් පස්සේ ඔහුගේ සොහොයුරු පස්වන දප්පුල රජ වෙනවා (ක්‍රි. ව. 940 - 952). මේ කාලයේදීත් පස්වන කාශ්‍යප රජුගේ කාලයේදී වගේම සොලීන් විසින් පඬි දේශය ආක්‍රමණය කිරීම නිසා පඬි රජු සහය පතා ලංකාවට එනවා. දප්පුල රජු යුධ ආධාර ලබා දෙන්න සූදානම් උනත් ප්‍රාදේශීය නායකයින් එයට එරෙහිව නැගී සිටින නිසා ඒ අදහස අත්හැරගන්න සිදු වෙනවා. මේ නිසා පඬි රජතුමා, ඔටුන්න ඇතුළු වටිනා භාණ්ඩ දප්පුලV රජු භාරයේ තබා කේරළය බලා පිටත් වෙනවා.
පස්වන දප්පුල රජතුමා මිය යන විට යුව රජුව සිටි ආදිපාදවරයා උදය II නමින් රජ වෙනවා (ක්‍රි. ව. 952 - 955). ඒත් ඇමතිවරුන් අතර මේ රජතුමා ගැන අප්‍රසාදයක් හට ගන්නවා. හේතුව නොදනී. මේ ගැන රජතුමාගේ කනට වැටීම නිසා ඇමතිවරු බයට පත් වෙලා තපෝ වනයකට පලා ගිහින් සැඟවී ජිවත් වෙනවා. කොහොම උනත් රජතුමාත් ඉන්නේ ඔවුන්ට බයෙන්. මේ නිසා යුවරජ සමග එකතු වෙලා උදය රජතුමා තපෝ වනය වටලා ඇමතිවරුන් සොයා දරුණු විදියේ සංහාරයක් කරනවා. මෙයින් කළකිරෙන තපෝවන භික්ෂුන් රුහුණට පලා යනවා. අවසානයේ පසුතැවිලි වන යුවරජ ඒ භික්ෂූන් සොයා ගොස් ඔවුන් නැවතත් තපෝ වනයට ගෙන්වාගන්න කටයුතු කරනවා. රජතුමාත් භික්ශුන්ගේ දෙපා මුල වැටී සමාව ගන්නවා.
දෙවන උදය රජතුමා මිය ගියාට පස්සේ රජ වෙන්නේ යුවරජ ව සිටි ඔහුගේ සොහොයුරු තුන්වන සේන (ක්‍රි. ව. 955 - 964). ඔහු මේ වන විට ඉතාමත් දැහැමි පුද්ගලයෙක් බවට පත්ව සිටියා. ආගමානුකූලව දහමින් රට පාලනය කළ මෙතුමා දුප්පතුන්ටද උදව් උපකාර කරනවා. සේන III රජතුමා මියගියාට පස්සේ රජ වෙන්නේ යුව රජ වී සිටි ඔහුගේ හොඳ මිතුරෙක් වනතුන්වන උදය රජතුමා (ක්‍රි. ව. 964 - 972). මේ රජතුමා මත්පැනට ලොල් වූ උදාසීන පාලකයෙක් විදිහටයි සැළකෙන්නේ. මේ නිසා රටේ පරිපාලන කටයුතු එහෙම පිටින්ම අවුල් වෙලා ගියාලු. මෙයින් වෙන තවත් අවාසියක් තමයි චෝලයින් අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට සැරසීම. රට අවුල් සහගත තත්වය දුටු චෝල රජතුමා, දප්පුලV රජුගේ කාලයේ පඬි රජු විසින් ලංකාවට භාර දුන් රාජ්‍ය ආභරණ ඉල්ලා සන්දේශයක් එවනවා. එහෙත් තුන්වන සේන රජතුමා එය ප්‍රතික්ෂේප කරනවා (ඒ වෙද්දී චෝලයින් පඬි රට යටත් කරගෙන). මෙයින් කිපෙන චෝල රජතුමා සේන රජුට විරුද්ධව සටන් කිරීමට සේනාවක් එවනවා. මේ සටනින් සිංහල හමුදාව පරාජය වෙද්දී උදය රජතුමා රුහුණට පලා යනවා. රජු හඹා යාම අපහසු බව දුටු සොලී සේනාව හැකි තරම් වස්තුව කොල්ල කා ගෙන ආපසු යනවා. කොහොම උනත් මේ ප්‍රශ්න ඇති උනේ තමන්ගේ දුර්වල කම නිසා බව තේරුම් ගන්න උදය රජතුමා ඒ ගැන පසුතැවි ශක්තිමත් හමුදාවක් සදා සොලී දේශයට යවනවා. ඔවුන් සොළින්ගේ වස්තුවද කොල්ල කාගෙන නැවත පැමිණෙනවා.
උදය III රජුගෙන් පසු රජ වෙන්නේ ඔහුගේ යුවරජ සේන IV (ක්‍රි. ව. 972 - 975). ඔහුගේ කෙටි රාජ්‍ය කාලයෙන් පසුව රජකම ඔහුගේ සොහොයුරු මහින්ද IV (ක්‍රි. ව. 975 - 991) ට හිමි වෙනවා. මේ මහින්ද රජතුමා අගමෙහෙසිය හැටියට පාවා ගන්නේ කාලිංග කුමරියක්. ඇයට පුතුන් දෙදෙනෙක් සහ දුවක් ලැබෙනවා. මේ කාලයේදී චෝල රජෙක් වන වල්ලභ විසින් ලංකාවට හමුදාවක් එව්වත් ඔවුන් පරාජය කරන්න රජුගේ සේනාවට හැකි වෙනවා. හතරවන මිහිඳු රජතුමා මියයන විට කාලිංග බිසවගෙන් ලද පුත්‍රයාගේ වයස අවු. 12 ක් වුවත් රජකම ලැබෙන්නේ ඔහුට. ඔහු සේන V නමින් රජ වෙනවා (ක්‍රි. ව. 991 - 1001). මේ ළමා රජතුමා හැසිරෙන්නේ ඉතාමත් නොමනා ආකාරයට. රජකම් කිරීමට තරම් හැකියාවක් බුද්ධිය මෝරා නැති මේ කුඩා ළමයාට නොතිබුනා වගේම ඔහුගේ ඔහුගේ ක්‍රියා කලාපයත් හොඳ උනේ නැහැ. මේ නිසා මහින්ද රජුගේ ප්‍රධාන සෙනෙවියා මොහුට විරුද්ධ වෙනවා. රජු විසින් සෙනෙවි ගේ තනතුර වෙන කෙනෙක්ට පිරිනැමීමත් එයට එක හේතුවක් උනා. සෙනෙවියාට පරාද වෙන රජතුමා දකුණු දේශයට පලා ගියත් ඔහුගේ මව ඉතුරු දරුවන් දෙදෙනාත් සමග අග නුවර රැඳෙමින් රටේ පාලනය කටයුතු කරගෙන යනවා. මේ අතර සෙනෙවියා ඔහුගේ ද්‍රවිඩ භටයින්ට අනුරාධපුරය බාර දී පොළොන්නරුවේ වාසයට යාම නිසා ද්‍රවිඩයින් හිතේ හැටියට සිංහලයින්ට හිංසා පීඩා කරන්න පටන් ගන්නවා. මේ අවුල් සහගත තත්වය නිසා රුහුණට පලාගිය සේන රජතුමා නැවතත් සාකච්චා මාර්ගයෙන් සෙනෙවි සමග මිතුරු වී අගනුවරට පැමිණෙනවා. සෙනෙවිගේ දියණිය රජුට පාවා දීමත් සිදු වෙනවා.
පස්වන සේන රජතුමාගෙන් පසු රජ වෙන්නේ ඔහුගේ බාල සොහොයුරු පස්වන මිහිඳු (ක්‍රි. ව. 1001 - 1017). මොහු ඉතාමත් දුර්වල පාලකයෙක් උන නිසා පාලන කටයුතු හරිහැටි කර ගැනීමත් ඔහුට අපහසු උනා. මිනිසුන් බදු ගෙවීම ප්‍රතික්ෂේප කළ බැවින් භාණ්ඩාගාරය හිස් වී හමුදා භටයින්ට පඩි ගෙවා ගැනීමටත් නොහැකි අවස්ථාවකට ආවා. මෙවිට කේරළ භටයින් මාළිගාව වටලා කැරලි ගැසීම නිසා රහසේම රුහුණට පලා යාමට රජුට සිදු උනා. මේ අතර අගනුවර පාලනය ද්‍රවිඩ භටයින් සහ වෙනත් අය අතින් හිතු මනාපයට සිදු වුන නිසා රට ඉතාමත් අවුල් සහගත තත්වයකට පත් වුනා. කෘෂි කර්මාන්තය, වාරි කර්මාන්තය, මේ හැම දෙයක්ම බිඳ වැටුනා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ කල දුටු කල වල ඉහ ගැනීමට බලා සිටි චෝලයින්. රාජ රාජ නම් චෝල රජ, ඔහුගේ පුත් රාජේන්ද්‍ර ප්‍රමුඛ සේනාවක් ලංකාවට එවන්නේ ලංකාව යටත් කර ගැනීමේ අදහසින්. මේ සේනාව ලංකාවට ගොඩ බැසි මොහොතේ පටන්ම ගම් දානව ගිනි තියමින් විශාල සංහාරයක් කරමින් අග නුවරට ඇතුල් උනා ලු. දප්පුලV රාජ්‍ය සමයේ පඬි රජු මෙහි තබා ගිය රාජ්‍ය ආභරණත් පැහැර ගත්තා කියලා සඳහන් වෙනවා. ඒ වගේම පස්වන මිහිඳු රජතුමාත් චෝල දේශයට අල්ලාගෙන ගියාලු. ඔහුගේ මරණය සිදු වෙලා තියෙන්නේ එහිදී. එහත් රජතුමාගේ පුත්‍රයෙක් රුහුණු වැසියන් විසින් සඟවා ගෙන ආරක්ෂා කළ බවත් කියවෙනවා.
ඉතින් අනුරපුර යුගයේ අවසාන සිද්ධ වෙන්නේ මෙවැනි අවාසනාවන්ත ආකාරයකට. දිවයිනේ වැඩි කොටසක් චෝල බලයට නතු වීම නිසා සිංහල ජනතාව එයින් පීඩා විඳිනවා. රටේ තවත් අඳුරු යුගයක් මේ ආකාරයට ආරම්භ වෙනවා.